Thursday, May 4, 2017

ලොව විස්මිත ජන කොටසක් සේ සැලකෙන ''මායාවරු''




සෑම වසරකම සංචාරකයන් දහස් ගණනක් මායාවරුන් ඉදි කර තිබෙන සුවිසල් පිරමීඩ නැරඹීමට මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ චිචෙන්-ඉට්සා සහ කෝබා ගම්මාන වෙත ගමන් කරයි. මායාවරුන්ගේ හැකියාවන් ගෘහ නිර්මාණ ශිල්පය,ගණිතය,තාරකා විද්‍යාව හා ලේඛන කටයුතු අතර කැපීපෙනුණි. ලේඛන කටයුතු සඳහා ඔවුන් යොදාගත් අක්ෂරවලට බොහෝවිට ඇතුළත් වුයේ රූපයි. එමෙන්ම අංක බින්දුව හඳුන්වා දීම සහ දවස් 365ක දින දර්ශනය සෑදීම ද මොවුන් විසින් සිදු වූ සුවිශේෂී කාර්යයන් අතර වේ. අදටත් ලොව පුරා මොවුන් මෙතරම් සුප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔවුන් විසින් නිර්මිත අප අදටත් භාවිතා කාරන දින දර්ශනය හේතුවෙනි මායාවරුන්ගේ යුගය වන්නේ මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරයයි. ක්‍රි. පූ. 2600 දී ආරම්භ වූ මෙම ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. 250 – 900 අතර කාලයයි. මොවුන්ගේ මෙම ස්වර්ණමය යුගයේ පාලකයා ලෙස සැළකෙන්නේ පැකාල් රජු යි. විශ්මිත පැලෙන්ක් නගරය නිර්මාණය කරන ලද්දේ ද ඔහු විසිනි. කෙසේ වුවද එතුමා මායාවරුන්ගේ ලෝකය තුළ ඉතිහාස ගත පාලකයෙක් විය.

මායාවරුන් යනු සංකීර්ණ ජන කොට්ටාසයකි. මොවුන් හට තිබූ දැනුම අතර තාරකා විද්‍යාවට ද විශේෂිත තැනක් හිමි වේ. වි‍ශේෂයෙන් චන්ද්‍රග්‍රහන, සූර්යග්‍රහන පිළිබඳව මොවුන් සතුව ඉතා පුළුල් දැනුමක් විය. එසේම ඔවුන් විසින් වි‍ශේෂයෙන් ප්‍රගුණ කරන ලද ගණිත ක්‍රමයක් ද ලේඛන කලාවක් ද තිබිණි.මොවුන්ගේ අංක රෝමානු ක්‍රමයට සමාන බව පෙන්නුම් කරයි.
 ‍‍‍
මායාවරුන්ගේ ජන ජීවිතයේ  ප්‍රධාන පාලකයා වූයේ පූජකවරයා යි. පූජකයන්ට පහළින් වංශවත් රදලයෝ ද, ඊට පහළින් සාමාන්‍ය ජනතාව ද, ඔවුන්ට පහළින් යුධ සිරකරුවෝ ද, වහල්ලු ද සිටියහ. මෙම ශිෂ්ටාචාරයේදී ගොඩනැගිලි‍ ඉදිකිරීම් කටයුතු වැනි ක්ෂේත්‍ර වලට යොදා ගනු ලැබුවේ යුධ සිරකරුවන් සහ වහල්ලුන් ය.මායාවරුන් ද ‍දෙවියන් ඇදහුවේ ය. ඔවුන්ගේ විශ්වාසය වූයේ දෙවියන් විසින් මිනිසා මවනු ලැබුවේ ‍ඉරිඟු ඇටයකින් යන්නයි. මායා පූජකවරු ගණිතය, තාරකා ශාස්ත්‍රය, වේද ශාස්ත්‍රය යන දැනුමින් පරිපූර්ණ පුද්ගලයින් විය. එමෙන්ම ඔවුන් ජ්‍යෝතිශාස්ත්‍රය හා සම්බන්ධ ක්‍රියාවලීන්වල ද නිරත විය. ඔවුන්ගේ නමස්කාර වත්පිළිවෙත්වලට සුවඳ ද්‍රව්‍ය දැල්වීමල,දේවතා රූප භාවිතය, තමන්ගේම සිරුරු කපාගැනීම මෙන්ම වහලුන්වල සිරකරුවන්ව හා දරුවන්ව පූජා කිරීමත් සිදු කළහ. යම්කිසි පාලකයෙකු මිය ගිය විට ඒ මිය ගිය තැනැත්තා දෙවි කෙනෙකු වන බව ඔවුන්ගේ විශ්වාසය යි. ඒ හේතුවෙන් පාලකයෙකු මිය ගිය විට ඔවුන් උදෙසා පිරමීඩ පවා සාදන ලදී. එසේම හිරු දෙවියන්ට, සඳ දේවතාවියට හා වර්ෂාවට මෙන්ම බඩඉරිඟුවලට අධිපති දෙවිවරුන්ටද වැඳ නමස්කාර කිරීම මොවුන් ඉතාමත් භක්තියෙන් යුතුව සිදු කර ඇත. තවද ‍මායාවරුන් කුක්කුල්කන් නම් පිහාටු සහිත සත්ත්වයෙකු වෙනුවෙන් මිනිස් බිලි පූජා තැබූ බවට ද සාධක හමු වී ඇත. මෙත්සිකෝවේ චියාපාස් නැමැති වැසියන් අතර පවතින පුරාවෘත්තයකට අනුව කුක්කුල්කන් යනු, සූර්යය දෙවිඳුන්ගේ සුරතල් සතත්වයා මෙන්ම නියෝජිතයා බව ද කියවෙයි.

මායාවරු මෙම ලෝක ධාතුව තල 3 කින් යුක්ත බව ඔවුහු විශ්වාස කළහ. එනම්,
මිහිපිට
අපාය
දිව්‍යලොකය
යන්න යි. සියල්ල චක්‍රයක් ආකාරයෙන් නැවත නැවතත් සිදු වන බව ඔවුන් විශ්වාස කළහ. ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාසයන් සියල්ල පදනම් වූයේ ඉහත කරුණු මතයි. ඔවුන් විසින් නිර්මාණය කරන ලද දින දර්ශනයේ සඳහන් වූයේ විශේෂ ආගමික උත්සවයන් ය. එම දින සකස් කිරීමල බිලි පූජා පැවැත්වීම යන සියල්ලෙහිම ප්‍රධානත්වය දරන්නේ පාලකතුමා විසිනි. ඔවුන් සතුන් මෙන්ම මිනිසුන් ද බිලි දුන්හ.

මෙම ශිෂ්ටාචාරයේදී ද ගොවීන් වැඩි ප්‍රමාණයක් වාසය කළහ.ඔවුන් විසින් භෝග වගාව මෙන්ම සත්ත්ව පාලනයට ද සිදු කළහ. වගා කටයුතු වලදී වට්ටක්කාල,ඉරිඟු, කොකෝවා ආදිය වගා කිරීම වැඩි වශයෙන් සිදු විය. සත්ත්ව පාලනයේදී  මී මැස්සන් ඇති කිරීමත් බහුලව සිදු කරන ලදහ. ‍ඔවුන්ගේ ගොවි උපකරණ පිළිබඳව දැනුම එතරම් සාර්ථක නොවූ අතර ලෝහ පිළිබඳ දැනුම ඉතාමත් අල්ප විය. මායා ශිෂ්ටාචාරයෙහි  නිවාස අද ඒවා මෙන් නොව, දැව වලින් සෑදූ ඒවා විය. වහල සෙවිලි කරන ලද්දේ පැතලියට ය. සියල්ල තනි තට්ටුවේ ඒවා විය. ගෘහ අලංකරණය අතර ප්‍රමුඛස්ථානය හිමි වූයේ දේවාල වලට ය. සෑම නගරයකම දෙවියන් පිදීමට දේවාල විශාල ප්‍රමාණයක් ඉදිකර තිබිණි. දේවාල පඩිපෙල් මිසර පිරමීඩවලට සමාන පිරමීඩවලින් අලංකෘත විය. මෙම පිරමීඩ සෑදීමට ගන්නා එක් ගල් කුටියක බර ටොන් 2 – 5 ක් අතර විය. පිරිමීඩ වල උස මීටර් 450 ක් පමණ විය. එසේම මෙම මායා ශිෂ්ටාචාරය මිනිස් ශ්‍රමයෙන් විපුල ලෙස සමෘද්ධිමත්ව පැවතීයෙන් මහා ගල් කැට යොදාගෙන මෙන්ම හුණුගල් ආරුක්කුවලින් අලංකරණය කරමින් සිය රජු සඳහා මාලිගා තැනීම ද සිදු කළ
හ.

මායාවරුන් සතුව නගර නිර්මාණය සඳහාද විශේෂ නිපුනත්වයක් තිබුණි. ‍මේ සියළුම නගරවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සියළු නගර එකිනෙකට සමාන වීමයි. එම සමාන වූ ලක්ෂණ ලෙස,
සෑම නගරයකම මධ්‍යම වෙළඳපොළක් තිබීම.
විශාල වශයෙන් එක් රැස් විය හැකි ඉඩ කඩ සහිත ස්ථාන තිබීම.
සෑම නගරයකම පිරමීඩ දේවාල දැකිය හැකි වීම‍.
මායාවරුන්‍ට විශේෂ වූ පන්දු ක්‍රීඩාවක් සඳහා සෑම නගරයකම ක්‍රීඩාගාරයක් ඉදිකර තිබීම‍‍.
නගර පාලකයාට වෙන් වූ මැදුරක් තිබීම.
ආදිය දැක්විය හැක. මායාවරුන් සැදූ නගර අතර විශාලතම නගරය වූයේ ටිකාල් නගරය යි. මෙය පිහිටා ඇත්තේ වර්මාන ගෝතමාලාව හා හොන්ඩුරාස් ප්‍රදේශ අතරය. එහි ජනගහනය 60, 000 කි. යුනෙස්කෝ සංවිධානය විසින් එය1979 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි.

මායාවරුන් කලාවට ද උපන් හපනුන් විය. ඔවුන් සිය කලා කුසලතාවයන් උපයෝගී කරගෙන,
රෙදි විවීම
චිත්‍ර ඇඳීම
චිත්‍ර පින්තාරු කිරීම
මූර්ති කැටයම් කිරීම
සිතියම් ඇඳීම
ආදිය අපූරුවට සිදු කර ඇත. මායාවරුන්ගේ පැරණිතම චිත්‍රය ලෙස සැලකෙන්නේ බිතු සිතුවමකි.

පැරණි මායාවරු දේහ ලක්ෂණවලින් අනාවැකි කීමට ද සමත් වූවන් සේ සැලකෙයි. ඔවුහු සිය දරුවන්ගේ අස්වාභාවික දේහ ලක්ෂණ දැකීමට ප්‍රිය කළහ. පැතලි නළල් තලය හා වපර ඇස් එ් අතරින් ප්‍රධාන විය. එසේ පැතලි නළල් තලයක් ලබා ගැනීම සඳහා ඔවුන් කුඩා වියේදීම ලෑල්ලක් වැනි දෘඩ වස්තුවක් නලල් තලයට තබා බඳින ලදී. උසස් මට්ටම් සහිත මායාවරුන් අතර මෙම ක්‍රමය බහුලව ක්‍රියාත්මක විණි. වපර ඇස්ද වාසනාවේ සංකේතයක් සේ ඔවුන් විසින් සැලකූහ. වපර ඇස් ලබා ගැනීම සඳහා නොවරදින ක්‍රමයක් ලෙස අලුත උපන් දරුවන්ගේ ඇස් ඉදිරිපිට හා ඇස් ආසන්නයේ පැද්දෙන වස්තූන් එල්ලා තැබීම සිදු කළහ. අලුත උපදින දරුවන්ට නම් තැබීමට දරුවා උපදින දිනය පදනම් කරගෙන ඇත.ඒ අනුව වසරේ සෑම දිනයක් සඳහාම වෙන් වූ නමක්ද තිබුණි.

මායා ශිෂටාචාරයෙහි ලෙඩ සුව කිරීම සඳහා ද විශේෂ යකැදුරන් සිටියහ. එහි විසූ උගත්ම හා දක්ෂම තරුණයන් මේවා ඉගෙනීම සඳහා යොමු කරන ලදහ‍. රෝග සුව කිරීමල අනාවැකි කීම සහ සොබාදහමේ බලවේග පාලනය කීරීම සම්බන්ධයෙන් මොවුන් අතරමැදියන් ලෙස කටයුතු කළහ. හිසකෙස්වලින් තුවාලවලට මැහුම් දැමීමට ද නිල් මැණික් සහ ජේඩ්වලින් බොරු දත් සෑදීමට ද මොවුන් දක්ෂයින් විය. හතු,දුම්කොළ සහ මධ්‍යසාර ඇදී පැළෑටි වේදනා නාශක ලෙස මොවුන් විසින් භාවිතයට ගෙන ඇත. මායා රජවරුන් දෛනිකව උණු වාෂ්ප ස්නානය කර ඇත. ඒ උණු වතුර මඟින් ශරීරය මනාව පිරිසිදු කර ශරීරයේ විස නසන බවට ඔවුන් දැන සිටි බැවිනි. ඒ සඳහා උණු වාෂ්ප අංගන හෙවත් සෝනා තිබූ බවට ද නටඹුන් සාක්ෂි දරයි. මෙම සෝනාවල බිත්ති සහ පියසි සඳහා උෂ්ණය සහිත පාෂාණ භාවිතා කර තිබූ අතර ජලය උණුකරගෙන ඇත්තේ ඒ ගල් මතට ජලය වත් කිරීම මඟිනි.

කෙසේ වුවද මෙකී විස්මයජනක දැනුම් සම්භාරයකින් යුතු වූ මායාවරුන්ගේ සංස්කෘතියෙහි විනාශය සිදු වූයේ ඔවුන්ගේ රාජ්‍යය බලය ස්පාඤවරුන් අතට පත් වීමත් සමඟ ය. ක්‍රිස්තු වර්ෂ 16වන සියවසේදී ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන්ගේ දේශ සීමා වෙත පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ අරමුණු දෙකක් සහිතවය. එනම් ගම්බිම් යටත් කරගෙන ධනය සොයාගැනීමට සහ මායාවරුන්ව ඔවුන්ගේ ම්ලේච්ඡ ආගමෙන් නිදහස් කරවාගෙන කතෝලික ආගමට හරවාගැනීමටයි. එමනිසා ස්පාඤ්ඤ ජාතිකයන් සමඟ කතෝලික පූජකයන්ද පැමිණ ඇත. ඔවුන් සියලුදෙනාම එක්ව  මායාවරුන්ගේ වගා බිම් සියල්ලත් වගා කටයුතුවලට ජලය සැපයූ ස්ථානත් ආක්‍රමණය කර ඇත. එහිදී මායාවරුන්ට දෛනික ජීවිතයේ මහත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වී ඇතග මීට අමතරව පල්ලියේ පූජකයන් වාර්ෂිකව සියලුම මායාවරුන්ගෙන් බද්දක් අය කිරීම නිසා‍ මොවුන් ආර්ථිකවද මහත් අපහසුතාවයන්ට පත්විය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන් වෙනුවෙන් පල්ලියට බද්ද ගෙවීමට ඉදිරිපත් වීය. මේ නිසා කාලයත් සමඟම මායාවරුන් ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ණයකරුවන් වූහ. අවසානයේදී ඒ ණය පියවීම සඳහා ඔවුන්ට දාසයන් සේ ස්පඤ්ඤය ජාතිකයන්ට බැල මෙහෙවරකම් කරන්නට සිදු විය.


අවසානයේදී මෙය ජාතිවාදී යුද්ධයක් බවට පත්විය. ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පාලනයෙන් හෙම්බත් වූ මායාවරුන් පල්ලියට බදු ගෙවීම නතර කර දමා දරුවන්වද පල්ලියේ පාසැල්වලින් අස් කරවා ගැනිණි. එමෙන්ම ඔවුන් කතෝලික ආගම ගැන ඉගෙනගැනීමත් නතර කර දැමූ අතර ස්පාඤ්ඤ ජාතිකයන් හිමි කරගත් වතුවල වැඩ කිරීමත් ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා මායාවරුන්ට තව තවත් වධ හිංසාවලට මුහුණ දෙන්න සිදු වුවද ඒ කිසිත් නොතැකූ ඔවුන් අවුරුදු 300ක පමණ කාලයක් තිස්සේ ස්පාඤ්ඤ ජාතිකයන් ගෙන ගිය පාලනයට විරුද්ධව 1847දී නැඟී සිටියහ. මෙලෙස මෙය මෙය ජාතිවාදී යුද්ධයක් දක්වා ව්‍යාප්ත වන්නට විය. මෙහිදී මායාවරුන් තම ජීවිත පරදුවේ තබා සටන් කිරීමට පෙලඹුණේ ඔවුන්ට හමු වූ කුරුසයක් නිසයි. ඔවුන් කියා සිටියේ එම කුරුසය කතා කර ස්පාඤ්ඤ ජාතිකයන්ට විරුද්ධව සටන් කිරීමට ඔවුන්ව දිරිගැන්වූ බවයි. වර්ෂ 1853දී එම යුද්ධය නිළ වශයෙන් අවසන් වන විට යුකටාන්වල මායාවරුන්ගේ ජනගහනයෙන් සියයට 40ක්ම යුද්ධය නිසා මිය ගොස් තිබුණි. එතැන් සිට ගෙවී ගිය වසර 55 පුරාම විටින් විට ගැටුම් ඇති වුණත් අවසානයේදි මායාවරුන්ට ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් නිදහස ලැබාගන්නට සමත් විය. ස්පාඤ්ඤ ජාතිකයන් මායාවරුන්ට කතෝලික ආගම හඳුන්වා දීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයනේ පාරම්පරික ආගමික වත්පිළිවෙත් හා කතෝලික චාරිත්‍ර එක් වී නිර්මාණය වූ අමුතුම ආගමක් මායාවරුන් විසින් අදහන්නට පෙළඹුණි. ඒ අනුව මායාවරුන්ගේ වර්තමාන ආගමික තත්වය ගැන එක් පොතක මෙවැනි අදහස් පළ විණි.

"මායාවරුන් අදටත් ඔවුන්ගේ පැරණි දෙවිවරුන්ට හා මිය ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කරනවා. ඒ අතරවාරයේ ඔවුන් පල්ලියේ සාන්තුවරුන්ටත් නමස්කාර කරනවා.ඒ නිසා ඔවුන් ඇදහූ කූකූල්කාන් දෙවියාව සහ සඳ දේවතාවියව යේසුස්ට සහ මරියාට සමාන කර තිබෙනවා. මායාවරුන්ට කුරුසයෙන් සිහිගැන්වෙන්නේ යේසුස්ව නොවෙයි. ඒ වෙනුවට ඔවුන් කුරුසය යොදාගන්නේ අතීතයේ පටන් ඔවුන් ගරු බුහුමන් කළ සෙයිබා ශාකය සංකේතවත් කිරීමටයි. ඒ නිසා ඔවුන් කුරුසයට වතුර දමන අතර සෙයිබා ශාකයේ මල්වලින්ද එය සරසනවා..... " (The Mayas—3000 Years of Civilization)

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

6 comments:

  1. ada lokaya hiyanne nathi paththak....
    Godak rahas hangila thiyana kaala vakavanuwak.....

    Vatinawa... me danuma...

    ReplyDelete
  2. watina denuma resak eka lipiyakin... kammel nethiwa kiyawanna puluwan pelagesmak... good

    ReplyDelete
  3. godak nodath dewal pilibanda denaganna lebuna. thanx....

    ReplyDelete

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...