ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජහාන් රජතුමා විසින් සිය මිය ගිය ආදරණීය බිසවක වූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් ලෙසයි. නමුත් මියගිය පසු ආදරය වෙනුවෙන් සිහිවටන තැනීම සැබෑ ආදරයද....?
මුම්ටාස් යනු රජ කෙනෙකි.මා දන්නා තරමින් ඔහුට අන්ත:පුර බිසෝවරුන් හත් දෙනෙක් හිටියා. ඉන් සිව් වෙනියා තමයි මේ මුම්ටාස් දේවිය.මුම්ටාස් දේවිය මිය ගියේ සිය දා හතර වැනි දරු ප්‍රසූතියේදි කියලයි කියැවෙන්නේ. ඒ වගේමයි සිය දේවිය වෙනුවෙන් කිරිගරුඬ වලින් නිම කරවූ ටජ්මහල් හැදුවා කියන සාජාහන් රජුම මුම්ටාස් මැරුණට පස්සේ ඇයගේ නැගෙනියව විවාහ කර ගත්තා කියලත් කතාවක් තියෙනවා. එතකොට මේ මහමෙරක් තරම් ආදරේ කොහේ සැඟවුණාදෝ කියලා නිකමට වගේ හිතෙනවා.
පෙම්වතුන්ගේ ලෝකයේදී නිමල ආදරයේ අමිල ප්‍රතිනිර්මාණයක් සේ සළකන මේ ටජ්මහල සත්‍යය වශයෙන්ම ආදරයේ සදානුස්මරණීය සිහිවටනයක්ද, එසේත් නැත්නම් තමන්ගේ ආදරේ මහන්තත්තකම පෙන්වන්නක්ද යන්න බුද්ධියේ විමසුමින් එකිනෙකා තීරණය කළ යුත්තක්.
හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. දැන් දැන් ආදර ලෝකයේ බහුතරයක් ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාජහන්ලම තමයි. අනෙක් අතට නමට හරි මුම්ටාස් දේවියක් වගේ ආදර ලෝකයේ නිකැලැල් බවින් පිදුම් ලබන්න සුදුසු යුවතීන් ඉන්නෙත් හරිම අතලොස්සක් විතරයි. ඒත් ඒක එක අතකින් සාධාරණයි. නවීකරණය නොවූ, නව මාධ්‍ය උන්මාදයෙන් තොර වූ කාලයේදිත් සාජහන්ලා හිටියනම් මේ වගේ වේගවත් ගමනක මුළු මහත් සමාජයම ගමන් කරන අද වගේ කාලයක සාජහන්ල තොග පිටින් බිහි වෙන එකත්, මුම්ටාස්ලා නමටවත් නැති වෙන එකත් අරුමයක් නෙවෙයි.
ඉතිං කොහොම උණත් ඉන්දියාවෙ චාරිකාවල යන අය වගේම දඹදිව වන්දනාවෙ යන අයත් කකුල් වලට ෂොපින් කවරත් දාගෙන හරිම භක්තියකින් ටජ් මහල් බලන්න යනවා. පුංචි අපි මේ කියන සාජහන් නම් ආදරයේ සදාතනික නිමැවුම්කරුවාගෙ ආදර මාලිගාව ළඟදි හරියට කුරුමිට්ටන්ටත් වඩා පොඩියි. ඉතිං අපි එතැන්ට ගිහින් "බුදු අම්මෝ සාජාහන්ගේ ආදරේ තරම" කියලා හිතනවා. ඒත් ඔය කියන ආදරේ අහලකටවත් ළං වෙන්න බැරි ඔබ්බවූ කිරිගරුඬවල දිස්නයත් පරදන පූජනීය කැප කිරීම් කරපු පෙම්වතුන් ඇත්තෙන්ම එදා වගේම අදත් ජීවමානව ඉන්නවා. ටජ් මහල් නොතැනුවත්, ඉතිහාසයට එක් නොවූවත් හදවතේ උපදින ආදරේ පිවිතුරුයි නම් ඒක මේ මුළු ටජ් මහල් මන්දිරයටම වඩා වටිනවා.මේ ගැන කියද්දි තවත් එක් කතාවක් මතක් වෙනවා. ඒ සාජහන් රජු මුම්ටාස් දේවියව අයිති කර ගත්තේ ඇය විවාහ වෙලා හිටපු පුද්ගලයාව මරලා දාලා කියලාත් කියනවා. එදා එහෙම උණත් නූනත් අදනම් ධනයට බලයට යටවෙලා ආදරය මරලා දාන පෙම්වතුන් වගේම පෙම්වතියොත් එමටයි.
ටජ්මහල ගැන සඳහන් පුරාවෘත්තවලදි සාජාහන් රජු හැමදාම හවසට යමුනා ගඟ අයිනේ තියෙන මේ ටජ්මහලට ඇවිත් රෑ වෙනකල් තමන්ගේ ආදරණීය බිරිය ගැන හිතලා කඳුළු සැලුවයි කියලත් කියනවා. එක් අතකින් මේව සුරංගනා කතා. ඇත්තටම මුම්ටාස් මැරුණට පස්සේ ටජ්මහල් තනවපු සාජහන් ඒක පෙන්නල මුම්ටාස්ගේ නංගිව අඹුකමට අරන් කම් සැප වින්දා වෙන්නත් පුළුවන්. මොකද ලෝකෙ ගොඩක් වෙන්නෙ ඒ වගේ දේවල්. හැමදේම බොරු මවාපෑම් රඟපෑම් විතරයි. අවුරුදු ගානක් ලෑස්ති වෙලා, රටටම අණබෙර ගහලා, තරු පහේ හෝටල් වල දවස් හතක් මඟුල් කාලා, මාස තුනක් පිටරටවල හනිමූන් යන සමහරක් උදවිය දික්කසාද වෙන්න යන්නෙත් මාසයයි. ඒ වගේමයි සමාජෙට පේන්න මහා උජාරුවට ආදරෙන් ඉන්න බව පෙන්නන සමහරුන් තනි වුනු වෙලාවට නයි පොළොන්ඟු වගේ. ආත්ම ගණනක් පතන් ආපු වෛරක්කාරයො වගේ. රජ සිටු මැදුරුවල සිරි යහන් ගබඩා වලින් හමු නොවන ආදර කතා දුගී දුප්පත් පැල්පත්වලින් හරි අපූරුවට සොයා ගන්නත් පුළුවන්. ආදරය කියන්නෙ ජාතියක්, ජන්මයක් නොදන්න කුලයක්, ගෝත්‍රයක්, පැහැයක් නොපෙනෙන හරිම අපූරු මීදුම් පටලයක් වගේ දෙයක්. හිරිගඩු නංවමින් රැඳී සිටිනවාද අව්වට බියේ සැඟව යනවාද යන්න තීරණය කළ යුතුතේ ආදරය කරන්නවුන්ම තමයි.
ඇත්තටම ආදරය කියන්නෙ ලේ මස් ඇට නහර වලට තදින්ම කා වදින හරිම පිවිතුරු හැඟීමක්. ඒත් මොන පාපයක්ද මන්ද, ඒ පිවිතුරු හැඟීම නිකැලැල්ව විඳින්න මේ ලෝකේ හුඟ දෙනෙක්ට පින නෑ. සිදුහත්-යශෝදරාවන්, නකුල මාතාවන්-නකුල පිතෘන් මේ ලෝකෙ බිහි වෙන්නෙ හරිම දුර්ලභවයි. ඒත් එහෙම අයත් නැති බවම කියන එකත් අසාධාරණයි.
මේ අතරතුර මතක් වෙනව කරුණාරත්න අබේසේකරයන්ගේ පද බැඳුමට ජෝතිපාලයන්ගෙ හඬින් ප්‍රානවත් වෙන හරිම ලස්සන ඒ වගේම ගොඩක් අර්ථවත් සිංදුවක්.
ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී
මේක කියන පෙම්වතාට තමන්ගේ ආදරේ මෙච්චරයි කියලා භෞතිකව වටිනාකමක් දෙන්න බෑ කියලයි මේ කියන්නෙ. මොකද, ඉන්දියාවේ ටජ්මහල සාමාන්‍යයෙන් ආදරයේ භෞතික වටිනාකම, නැත්නම් ආදරේ කියන මිනිස් හැඟීමේ නොමියෙන ප්‍රතිමූර්තිය කියල බොහෝ දෙනෙක් සැළකුවත් මේ වැලි, සිමෙන්තිවලින් හැදුණු ගොඩනැඟිල්ලක් ආදරයට සමාන කරන්න පුළුවන්ද කියන දේ මේ පද මාලාව අභ්‍යන්තරයෙන් හඬ නගා අපෙන් අහනවා. ඔහු තමන්ගේ ඒ සෙනෙහස නාමයෙන් ටජ්මහල් නොතැනූවත් හිස් අහසේ ගෑවෙන්නට තරම් උස් වූ ඒ ආදරයේ හැඟුමන් සියල්ල කැටි කරලා ගී පදවැල් ලියූවොත් අහස තෙක් උස් වූ සෑයත් බඳින්නට තරම් එය සුවිසල් වේවි. ඉතිං සාජාහන්ගේ මේ ප්‍රෝඩාවට වැඩිය ජෝතිපාල කියන මේ ආදරය කොයි තරම් නම් අවංකයි ද, නිර්මලයි ද, පූජනීයයි ද කියල හිතෙනවා.ඒ ආදරේට හිමි වටිනාකම දෙන්න ,ඒ ආදරයට තුරුළු වෙලා ඒ සුන්දර උණුසුම විඳින්න,ඒ ආදරයත් එක්ක කෝලම් කර කර හිනාවෙන්න, ඒ ආදරය තුල ජීනමානව ජීවත් වෙලා මිය යන තුරුම එක්ව හිඳින්න අපි හුඟ දෙනෙක් ඇත්තටම පිං කරලා නැති වග ගොඩක් වේදනාවෙන් උණත් පිළිගත යුතුම සදාතනික සත්‍යයක්.
මැරුණට පස්සෙ මල් වඩම් තියලා වැලි, සිමෙන්තිවලින් නෙමෙයි කිරිඟරුඬ ඔබ්බවලා සොහොන් කෝත බැන්ඳත්, පිළිම නෙළුවත්, වසරක් පාසා පහන් පත්තු කරලා මල් මාලා දැම්මත් ළඟ ඇති කළ නොවුනු ආදරේ මියැදුනු පසු කුමකටද කියල තමයි අහන්න වෙන්නෙ. එහෙම බැලුවහාම අද ප්‍රේමයේ මහා සංකේතය කියලා අපි කියන්නේ මහා ප්‍රෝඩාවකට වංචාවකට කියල හිතෙනවා. ඒකත් හරියට ආදරය කියන වචනයේ තේරුම නොදැන ආදරය කරන පෙම්වතුන් වගේ...
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
No comments:
Post a Comment