Wednesday, June 28, 2017

තාරුණ්‍යයේ නවතම විප්ලවය





1948 පෙබරවාරි මස 04 යනු ලක්වාසී අප සැමට සදා මතකයේ රැඳුණු එකතරා සුවිශේෂී දිනයකි. එනම් ශ්‍රී ලංකාව සුදු ජාතීන්ගේ පාලනයෙන් නිදහස ලබා නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස අභිමානයෙන් යුතුව හෙළ ධජ එසවූ බැවිනි. 1948 වසරේ මෙන්ම ඉන් වසර 56කට පසු, එනම් 2004  වසරේ පෙබරවාරි 04 වැනි දිනය ද ලක්වාසී නොව ලෝ වාසී බිලියන ගණනාවක මානවයාගේ දෛනික ජීවිතයට නව අංගයක් එක්වෙමින් ඉතිහාසගත වූ ‍ඓතිහාසික දිනයකි.  පිපාසයට වතුර පොදක් අවැසි වනවා සේ ඔබ මො‍හොතක් විවේකී වූ විට, හුදෙකලා වූ විට සිත අත නෙත කණ සොයන ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ නිර්මාණය වූයේ මේ දිනයේදී වීම මෙම කී සුවිශේෂීත්වයයි..  පෑනේ මිතුරු මිතුරියන්ට ලිපි ලියමින් සමාජ සම්බන්ධතා ගොඩ නැගූ යුගය යල් පැන ගිය මෝස්තරයක් බවට පත්ව මානව හා සමාජ සම්බන්ධතා පුළුල් පරාසයකට ගෙන යන සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් ලෙස ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ හඳුනාගත හැකිය. ඉතින් 2004 සිදු වූ මෙම විප්ලවීය සොයා ගැන්ම සමරා ජයපැන් පානය කරන්නේද, තුටු ධජ ඔසවන්නේද එසේත් නැතිනම් වස දිය පානය කරන්නේ හෝ කළු කොඩි ඔසවන්නේද යන්න තීරණය කළ යුත්තේ  එහි සැරිසරන ඔබමය. ආරම්භය ෆේස්බුක් වුවද මෙම ලිපිය එයට පමණක් සීමා වන්නේ නැත. සමස්ත තාක්ෂණික පහසුකම්  පරිහරණය යන්න හා බැඳේ.


වත්මන් ලෝකයේ තොරතුරු  තාක්ෂණයේ සුපිරි මාවත අන්තර්ජාලය බවට පත්ව තිබේ. බොහෝ දෙනාගේ තොරතුරු සොයා ගැනීමේ මාධ්‍යද මෙය බවට පත්ව ඇත. මෙකී අන්තර්ජාලය තුළ වෙබ් පියු බිලියන ගනණක් ඇති අතර ලොව ඕනෑම අස්සක මුල්ලක සිට තමන්ට අවැසි තොරතුරක්, දත්තයක්, ඡායාරූපයක් එසැනින් ලබා ගැනීමට මෙමගින් ඉඩ හසර ලැබේ. අන්තර්ජාල භාවිතය වඩාත් ප්‍රභලව සිදු වන්නේ ළමා හා තරුණ පරපුර අතරය. ඒ සඳහා වැඩිහිටි පිරිසෙහි මැදිහත් වීම සාපේක්ෂව අවම මට්ටමක පවතින බව පෙනේ. ඒ නව තාක්ෂණය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මද බැවිනි. කෙසේ වුවද අන්තර්ජාල ෆේස්බුක් ආදී සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිළිබඳ අධ්‍යනයේදී  ඒ හා සම්බන්ධ සාධනීය බලපෑමකට වඩා නිශේධනීය බලපෑමක් දැකගත හැකිය.

ප්‍රථමයෙන් පාසල් ළමුන් සහ අන්තර්ජාලය පිළිබඳව අවධානය යොමුකළහොත් දරුවා සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් මෑත්කර ආකර්ශනශීලී හා විනෝදජනක අධ්‍යාපන දිශානතියකට යොමු කිරීමට අන්තර්ජාල මාධ්‍යට ඇති ශක්‍යතාවය ඉතා ඉහළය. සාම්ප්‍රදායික පන්ති කාමර ඉගැන්වීම් ක්‍රමයට කොටුව සිටින දරුවා නිදහස් මනසකින් යුතු ඵලදායී අධ්‍යාපන රටාවකට හුරු කිරීමට මෙමගින් හැකි වේ.  නමුත් එහිදී දරුවාගේ අන්තර්ජාල භාවිතය යහපත් අරමුණු වෙනුවෙන් පමණක් භාවිතා වන්නේද යන්න පිළිබඳව වැඩිහිටි පිරිස මනා අවබෝධයකින් හා සුපරික්ෂාවෙන් සොයා බැලිය යුතු කරුණකි.



තරුණ ගැහැණු දරුවෙක් රාත්‍රී කාලයේ මහමග ඇවිදිනවා යැයි සිතන්න... එවිට මග වැරදී විවිධ මංමාවත්වල ඇවිද යාමට සිදුවිය හැකියි. එහිදී නන්නාදුදන නානප්‍රකාර පුද්ගලයින් හමුවිය හැකියි. සියල්ලෙන් ආරක්ෂාවී නිවසට පැමිණීම තීරණය වන්නේ ඔබේ දරුවාගේ බුද්ධිමත් ක්‍රියාකාරීත්වයේ තරම පමණටයි. නමුත් ඇතැම් විටෙක දරවා කෙතරම් බුද්ධියෙන් ක්‍රියා කළත් කෘෘර මිනිසුන්ගෙන් මිදිය නොහැකිය. එසේනම් අන්තර්ජාල භාවිතයද මේ හා සමානය. මේ නිසා බොහෝ දෙමවිපියන් දරුවන්ට අන්තර්ජාල භාවිතය තහනම් කරයි. නමුත් සිදු විය යුත්තේ  එය නොවේ. ලොව වේගවත් ගමනක යෙදෙද්දී ලොව යන අතට යෑම නවතා උඩුගං බලා පිහීනීමට අපට නොහැකිය. කළ යුත්තේ ඔබ සූක්ෂම ලෙස කටයුතු කරමින් දරුවාව ආරක්ෂා කිරීමයි. දරුවා භාවිතා කරන පරිගණකය නිවසේ නිතර ඇස ගැටෙන, පොදු තැනක ස්ථානගත කිරීමට මෙහිදී දෙමව්පියන් වගබලාගත යුතුය. එහිදී දරුවාට පරිගණකය අවභාවිතයට ඇති ඉඩකඩ සීමා වනු ඇත. නමුත් ජංගම දුරකථනය පාසල් වියේ දරුවෙකුට කිසිසේත් භාවිතයට ලබා දීම නුසුදුසුය. ඇතැම්විට දෙමව්පියන් දරුවන් නිවසින් පිටත සිටින විට තොරතුරු ලබා දීම හෝ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතනයක් දරුවෙකු අතට පත් කළ යුතුම යැයි සිතන්නේනම් එය අති නවීන කැමරා හෝ අන්තර්ජාල පහසුකම් නොමැති අවම පහසුකම්වලින් යුත් එකක් විය යුතුය.



එසේම දරුවාව හුදකලා භාවයෙන් මුදවාලීමට හෝ තමාට නිදහසේ වැඩක් කර ගැනීමට යැයි සිතා දරුවාව පරිගණක ක්‍රීඩාවකට හෝ වෙනයම් තාක්ෂණික ක්‍රියාකාරකමකට යොමුකරවීම කිසිසේත්ම නොකළ යුත්තකි. හයක් හතරක් නොදන්නා කුඩා දරුවෙකු වුවද ජංගම දුරකතනයක් ගෙන අන්තර්ජාලයේ එහා මෙහා සැරිසරන විට අත් වැරදීමකින් සිදුවන ටච් වීමකින් පවා අසභ්‍ය වෙබි පිටු හෝ වීඩියෝ ඕනෑ තරම් විවෘත විය හැකිය. එපමණක් නොව, නිරන්තරයෙන් දරුවා තාක්ෂණික ක්‍රියාකාරකම්වල නිරතවීම ඔවුන්ගේ කායික සහ මානසික වර්ධනයට පවා සෘණාත්මක බලපෑමක් සිදු කරනු ලබන බව නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින්ද ‍හෙළි වී ඇත. එහිදී  ඇස් පෙනීම දුර්වල විම, මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය අක්‍රීය විම ආදී අවශේෂ බලපෑම්ද සිදුවීමට ඉඩ ඇත.මන්ද වත්මන් දරුවන්ගේ තාක්ෂණික ඥානය දෙමව්පියන්ගේ දැනුමට වඩා අභිබවා යන බැවින් ඕනෑම දෙයක් දෙමව්පියන්ගෙන් වසන් කරන්නට දරුවන්ට හැකියාව ඇති නිසා එවන් අවස්ථා දරුවන්ට ද නොදැනෙන ලෙස මගහැරීමට නම් දෙමව්පියන්ගේ උපක්‍රමශීලී බව අත්‍යාවශ්‍යය වේ.



කෙසේ වුවද කකුළු අම්මා ඇදේට ගමන් කරමින් දරුවන්ට කෙලින් ගමන් කරන්නට උපදෙස් දෙන්නා සේ දිවා රෑ නොමැතිව තමා තාක්ෂණික උන්මාදයෙන් හැසිරෙමින් දරුවන්ට උපදෙස් දීමෙන් ඵලක් නොමැති බව මතකයේ තබාගත යුතුය. විහශ්ෂයෙන් කුඩා දරුවන් ඇසුරේ සිටියදී තමන් ජංගම දුරකතන භාවිතයේ යෙදිය යුතු පිළිවෙල පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුමය. තම දරුවන් සාර්ථක පුරවැසියන් සේ රටට දැයට දායාද කිරීමට නම් ඔවුන්ව පාසල් අධ්‍යාපනය ලබා දෙනවා මෙන්ම  ක්‍රීඩාව, දහම් අධ්‍යාපනය ආදිය ද යහමින් ලබාදී කායික සහ ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් ද පෝෂණය කිරීම දෙමව්පියන්ගේ පරම වගකීමකි.




අප මීළඟට නූතන තරුණ පරපුරෙහි නවතම උන්මාදය වී ඇති අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිලිබඳව අවධානය යොමු කරමු. වර්තමානය වන විට බොහෝමයක් වෙබ් අඩවි ඕපාදූප, බොරු ආරංචි ආදීයට නවාතැන්පලක් වෙමින් යාවත්කාලීන වනු ලබයි. අනෙක් අතට ඒවා අශ්ශීල පින්තූරවලින් පිරි කාමුක හැඟීම්වලට පිරි දඩබිමක් වී ඇත. ඒවා බහුතරයක් වැදගත්කමක් ඇති තොරතුරුවලින් ග්‍රාහකයා පෝෂණය කිරීමට කටයුතු නොකරයි. එනිසා ඉන් සමාජ ප්‍රගමනයට නොව සමාජ පිරිහීමකට මග පෙන්වීම සිදුකරන බව පෙනෙයි. විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබි අඩවි නිසා ජීවිතය අහිමිකර ගත් තරුණ ජීවිත බොහෝමයක් ඇත. පාර තොටේදී හමුවූවාට මුහුණක් නොබලා අන්අය සමඟ වචනය කතා නොකරන අය පවා මුහුණුපොතේ මිතුරු හවුල් සිය ගණනක් හා එක්ව කතාබස් කරයි. එම නිසාම වසර දහයක් වැනි කෙටි කාල පරාසයක් තුළ මුහුණුපොත තරම් සමස්ත ලෝකය පුරා ම මේ සා ජනතා ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වූ වෙනත් මාධ්‍ය ජාලයක් බිහි වී නොමැති තරම්ය.



සන්නිවේදන මාධ්‍ය  ලෙසින් රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ පුවත්පත්, සඟරා ආදිය අප හඳුනා ගන්නේ එක් පුද්ගලයෙකුගේ අදහස් බහුතරයක් වෙත ගෙන යන මාධ්‍යයක් ලෙසිනි. එහෙත් දැන් සමාජ ජාල භාවිතය හරහා බහුතරයකගේ අදහස් බහුතර පිරිසක් වෙත ඉක්මනින් ළඟා වෙයි. එ් ළඟා වීම ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, අසම්මතය ආදී සියල්ලටම පහසුවෙන් ළඟාවිය හැකි සේ සැකසෙයි. එසේම සමාජ අවභාවිතයන් මතුකර දැක්වීම තුලින් බොහෝදෙනා ඒවා අනුකරණයට ද පෙළඹීම මේ හරහා අතිශයින් සිදුවන බව පෙනේ. විශේෂයෙන් මෙම සමාජ ජාලා වෙබ් අඩවි තාරුණ්‍යයේ හද සන්තානයටම ආමන්ත්‍රණය කිරීමට සමත්ය.


එහි නිතැතින් රජ වන කාඩ්බෝඩ් වීරයන් තම පරමාදර්ශී චරිත බවට පත්කර ගැනීමටද අවඥාසහගත ක්‍රියාවන් හපන්කම් මෙන්ම සිය අභියෝග අභිමුව හොඳම විසඳුම් ලෙස දැකීමටද ‍තරම් නූතන තරුණ පරපුර මන්ද මානසිකත්වයකින් වෙත තල්ලු වීම මේ හරහා නිරායාසයෙන්ම සිදුවීම සැබවින්ම සෝචනීය තත්වයකි.

මෑත කාලීනව සිදු වූ දුම්රියට බෙල්ල තැබීම, තම පෙම්වතිය දරුණු ලෙස ඝාතනයට ලක් කිරීම ආදී සිද්ධීන් පිළිලයක් සේ එක දිගට පැතිර යමින් සිදු වන්නට වූයේ  ‍මාධ්‍යන් මඟින් මෙලෙස හුවා දක්වන සිද්ධීන්ට ප්‍රතික්‍රියාවක් වශයෙනි. මෙම තත්වය හමුවේ තරුණියන්ට සිදු වන බලපෑම දරුණුය. එනිසා ‍නව මාධය භාවිතයේදී තරුණියන් වඩාත් විමසුම්ශීලී විය යුතුය. විශේෂයෙන් ෆේස්බුක් ආදරවන්තයන් ඇසුරු කිරීමේදී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුය. එහිදී සිය පෞද්ගලික තොරතුරු, ඡායාරූප ආදිය හුවමාරු කිරීමේදී හදවතට නොව බුද්ධියට මුල්තැන දිය යුතුය. අන්තර්ජාලය යනු, ශාන්තුවරයන්ගේ නවාතැන්පළක් නොවන වගත්  එ් තුළ නොයෙක් මානසික මට්ටම් තිබෙන, නොයෙක් අරමුණු සහිත පිරිස් සැරිසරන බවත් තරයේ මතක තබාගත යුතුය. තම පුද්ගලිකත්වය තවකෙකුට තුරුම්පුවක් කර ගැන්මට ඉඩ ‍නොතැබිය යුතු බව සිහියේ තබාගත යුතුයි.  සිදු වූ සිද්ධීන් ගණනාවක අගමුල සොයා යාමේදී සිදුව ඇත්තේ තමා රැවටිලිකාරයන්ට හසු වූ බව දැනගත් පසු හෝ  සිය පෙම් සබඳතා දෙදරා ගිය පසු නැවතත් දෙමවිපියන්ට, සමාජයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තමා අසා දැක ඇති  මෙවන් තීරණ  ගැනීමට පෙළඹීමයි.


නව මාධ්‍ය භාවිතය හරහා සිදු වන මෙම අනිටු ප්‍රතිඵල මඟින්  සිදුවන ඛේදනීය තත්වයන් පාලනයට ස්වයං සංවරය මිස මෙයට ගත හැකි වෙනත් විසඳුමක් නැත. තාක්ෂණයේ පවතින දියුණු තියුණු භාවය නිසා එය වළක්වන්නට හෝ තහනම් කොට නවතා දමන්නට හැකියාවක් නැත. අනෙක් අතට එය මානව අයිතිවාසිකමකි. අන්තර්ජාලයට අයිතිකරුවෙක් නොමැති බැවින් එය නීති පනවා යටපත් කිරීමටද ඉඩකඩක් නොමැත. සමාජවාදී රාමුවට හා ආර්ථිකයට එල්ල වන බලපෑම් මත චීනයත්, ආගමික මතවාදයන්ට හානි වීමට ඇති ඉඩ මත ඉරානය, සිරියාව හා පාකිස්ථානය වැනි රටවලූත් ෆේස්බුක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. අප රටේද එවන්  ක්‍රියාමාර්ග ගත හැකි වුවත් මේ සඳහා ඇති සුදුසුම විකල්පය වන්නේ ස්වයං සංවරයට, ස්වයං විනයට මුල් තැන දී මේ සමාජ මාධ්‍ය භාවිතයට හුරුකරවීමට ජනතාව දැනුවත් කිරීමයි.

විශේෂයෙන් දෙමව්පියන් සිය දරුවන්ගේ මාධ්‍ය භාවිත ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයකින්, මෙන් අවදියෙන්ද සිටිය යුතු වේ. එසේ නැතහොත් ඔබත් නොදැනුවත්ව ඔබේ දරුවා අයහපතෙහි යෙදීමට අවකාශය ඕනෑතරම් ය. සිදු වූ දෑ ආදර්ශයට ගෙන හැඩගැසෙනවා මිස දෙයක් සිදු වූවාට පසුව ක්‍රියාත්මක වීමෙන් ඵලක් නැත. එනිසා ආදරණීය දෙමව්පියනි, නිතැතින් අවදියෙන් සිටින්න. යෞවන යෞවනියනි, බුද්ධියෙන් සිය නිදහස අන්තර්ජාලය තුළ භාවිතයට ගන්න. එමඟින් අවශ්‍ය දේ පමණක් ගෙන අනවශ්‍ය දෑ ඔබ තුළින් ඉවත් කර දැමීමට වගබලා ගන්න. අන්තර්ජාලය ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි ඔබටත් නොදැනීම ඔබගේ විනාශයේ දොරගුලු විවෘත කළ හැකිය. කෙටියෙන්ම කිවහොත් විශ්ව දැනුම ඔබේ දෝතට රැගෙන ආවත් බුද්ධියෙන් භාවිත නොකළහොත් අන්තර්ජාලය මාරාන්තිකය. එනිසා අන්තර්ජාලයට අවැසි අයුරින් අප නොව අපට සුදුසු පරිදිදෙන් අන්තර්ජාලය භාවිතා කළ යුතු වන්නේය.




මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න

No comments:

Post a Comment

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...