Wednesday, May 31, 2017

දෙව්ලියන් බඳු වන වනලියන්


දියුණුව කරා ගමන් කිරීමේදී මිනිසා ක්‍රමයෙන් වන සම්පත අතහැර දමා නාගරීකරණයට හසු වෙමින් පවතී. එහි ප්‍රතිවිපාක අදටත් මිනිසුන් අත් විඳිමින් සිටියි. වන විනාශයත් සමඟ මිහි මතින් අගනා ශාක හා සත්ත්ව කොටස් වඳවීගෙන යාම පමණක් නොව,විවිධ පාරිසරික වෙනස්වීම් ඇති වීම මඟින් ස්වාභාවික උවදුරු ඇති වීම, ඕසෝන් ස්ථරයට හානි සිදු වීම, අම්ල වැසි ඇති වීම වැනි දිගුකාලීන වූ අයහපත් ප්‍රතිඵල ඇති වීමේ ප්‍රවනතාවය වඩාත් වැඩි වේ. ශ්‍රී ලංකාව යනු, ලෝකයේ ජෛව විවිධත්වය අතින් කීර්තිමත් නාමයක් දිනාගත් දේශයකි. නමුත් දිනෙන් දින සිදු වන මහා පරිමාණ වන විනාශය හේතුවෙන් මෙම නාමය අප කෙරෙන් තුරන් වෙමින් පවතින බව පෙනේ. නාසා ආයතනයේ පුරෝකතනයට අනුව 20016 වසර ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය වාර්තා වූ වසරයි. එය ලංකාවේ අපටද එසේම බලපෑ බව අත්දැකීමෙන්ම අපි දන්නෙමු. ඉඳින් කළ යුතුව ඇත්තේ මෙතෙක් විනාශ වූ නොව දැනට ඉතිරිව ඇති වනාන්තර සහ ඒවායේ වටිනාකම් හඳුනාගෙන ඒවා පණ මෙන් ආරක්ෂා කර ගනිමින් ඉදිරි පරම්පරාවට ද මෙම දායාද ඉතිරි කර දීමට වග වලා ගැනීමයි.  ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් වනාන්තර පිහිටා ඇත්තේ 23%ක පමණ ප්‍රමාණයකි. ඉන් 18% වියලි කලාපයද, 2.1% තෙත් කලාපයට ද, 1.1 කඳුකර කලාපයට ද අයත් වෙයි.  

ශ්‍රී ලංකාව උෂ්ණත්වය සහ වාර්ෂික වර්ෂාපතනය පදනම් කර ගනිමින්  ප්‍රධාන දේශගුණික කලාප 5කට වෙන් වී ඇති අතර ඊට අනුකූලව ලංකාවේ වනාන්තර වර්ග 4ක්  ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.


  • නිවර්තන වර්ෂා වනාන්තර 
  • කඳුකර වනාන්තර
  • වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
  • කටු පඳුරු හා ලඳු කැලෑ


කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වනාන්තර සහ එහි  පවතින ජෛව විවිධත්වයේ ආරක්ෂාව පිලිබඳ භාරකාරත්වය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වන අතර එකී ප්‍රමුඛ පෙලේ වනාන්තර පිලිබඳ තතු පහත ආකාරයට දැක්විය හැකිය.

සිංහරාජ වනාන්තරය




දකුණින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලිනුත්, බටහිරින් කතරගම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලිනුත් මායිම්ව පවතින මෙම වනාන්තරයට "සිංහරාජ" යන නාමය ලැබී ඇත්තේ අතීතයේදී එහි අණසක පතුරුවාගත් සිංහයෙකු වාසය කළ නිසා බව විවිධ ජනශ්‍රැතිවල දැක්වෙයි. ලංකාවේ වැසි වනාන්තර අතර අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ සිංහරාජ වනාන්තරයටයි. මෙහි වපසරිය ‍හෙක්ටයාර් 11,187කි. එහි දිග කිලෝමීටර්  21ක් පමණ ද, පලල කිලෝමීටර් 7ක් පමණද වෙතැයි ගණනන් බලා තිබේ. එමෙන්ම ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ද මෙම වනාන්තරයට වීම ද සුවිශේෂීත්වයකි. එහි වාර්ෂික වර්ෂාපතනය සංඛ්‍යාත්මකව ගත් කළ මි.මී. 3000/6000 අතර පවතියි. ගිං සහ කළු ගංඟාවන් ද්විත්වයම ද ගලා යන්නේ මේ ආශ්‍රිතවමය. ඊට අමතරව තවත් බොහෝ ඇළ දොළ සිංහරාජ වනාන්තරය මධ්‍යයෙන් ගලා බසිමින් එහි සුන්දරත්වය තව තවත් තීව්‍ර කරයි. දැනට ලෝක උරුමයක් සේ නම්කොට ඇති මෙම භූමිය සතුව ඇත්තේ ඉතාමත් සාරවත් පසකි. එසේම අධි රක්ෂිත වනාන්තරයක් ලෙසට නම් කර ඇති සිංහරාජය වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත්කොට ඇති බැවින් එහි දැව කප්පාදුව, සතුන් දඩයම් කිරීම, ගෙවල් තැනීම සහ වෙනත් වගා කටයුතු කිරීම ආදිය සපුරා තහනම් කොට ඇත. තත්වය එසේ වුවද  වර්තමානයේ එකී නීති රීති අභිබවා යමින් කටයුතු කරන කෲර මිනිසුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සිදුවන දැව කප්පාදුව නිසා මෙම අමිල වස්තුව කෙමෙන් කෙමෙන් විනාශ වී යනු පෙනේ.

සිංහරාජ වනාන්තරය අතීතයේදී ආවේනික සත්ත්ව හා ශාක වර්ගයන්ගෙන් ගහණව පැවත ඇත. නමුත් අද වන විට වඳුරන්,මී මින්නන්,ඉත්තෑවුන්,කොළ දිවියන් ආදී කුඩා සත්ත්වයින්ගෙන් ද ගෝණ,මුව,වලස් වැනි මධ්‍යයම ප්‍රමාණයේ සතත්ව කොට්ඨාෂ කිහිපයකින් ද හැරුණුවිට අලි,ඇතුන්,සිංහයින් වැනි සතුන් දක්නට නොමැත. එසේම දේශීය හා සංක්‍රමණික පක්ෂි වර්ග රැසකගේ මෙන්ම මත්ස්‍ය වර්ග රැසකගේ ද තෝතැන්නක් ලෙස මෙම වනාන්තරය හඳුනාගෙන තිබේ. ඒ අනුව 1926දී සංරක්ෂිත වනාන්තරයක් ලෙස ද, 1988දී  එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසද මෙය නම් කරන ලදී. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ශාක ඝන 24න් 13ක් ද, ආවේණික ක්ෂීරපායි විශේෂ 12න් 8ක් ද, ආවේණික පක්ෂි විශේෂ 20න් 18ක් ද, මත්ස්‍ය විශේෂ 16න් 03ක් ද, උරඟ විශේෂ 72න් 22ක් ද, උභය ජීවී විශේෂ 19න් 10ක් ද දැකගත හැක. ඊට අමතරව සමනල විශේෂ 60ක් ද, ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වන "කොමන් බර්ඩ්වින්ග්" සමනලයා ද දැකිය හැකිය.

ස්වභාදහම් මෑණියන්ගෙන් ලැබුණු අපූර්ව දායාදයක් සේ සැළකිය හැකි මෙම සිංහරාජ වනාන්තරය ඉතාමත් උසස් දුර්ලභ ජෛව විවධත්වයෙන් යුත් වනාන්තරයක් ලෙස ලෝ පුරා ප්‍රකට වන අතර පරිසරවේදීන්ගේ සහ සංචාරකයින්ගේ නොමද ආකර්ශණය දිනා ගැනීමටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා සිසුන් නිරන්තරයෙන් යොදා ගන්නා සුවිශේෂී ස්ථානයක් ලෙසත් හැඳින්විය හැකිය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය




වියළි කලාපයේ ප්‍රධාන රක්ෂිත වන භූමියක් වන විල්පත්තුව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වනාන්තරවලින් විශාලතම වූවකි. මෙම වනෝද්‍යානය ආශ්‍රිතව පනි ඇල, එරිජ්ජ ඇල, මෝදර ගං ආරු ආදී ගංඟා අළ දොළවල් ද දන්ගහ වැව, තිඹිරි වැව, තෙල් බීපු වැව, ඉකිරිගොල්ල වැව, හුඹස් වැව, පර්සිබැඳි වැව, කුඩා විලච්චිය වැව ඇතුළු වැව් රාශියක් ද, කොක්කාර් විල්ලුව, වීරකුට්ටි විල්ලුව, නෙළුන් විල, පැණි කෑ විල, අක්ත විල, අමදරා විල ඇතුළු තවත් බොහෝ විල් වලින් සහ විල්ලුවලින් සමන්විතය. මෙම භූමි ප්‍රදේශය වන සංරක්ෂණයට අයත් වෙයි.

කලා ඔය සහ මල්වතු ඔය අතර පිහිටා ඇති මෙම වනෝද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 131,693ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙහි වාසය කරන සිවුපා සතුන් අතරින් අලියා,වලහා,දිවියා,වල් ඌරා,ඉත්තෑවා,වඳුරා,කැබැල්ලාවා සහ නරියා ප්‍රධාන වේ. එසේම වනෝද්‍යානයේ දී හමුවන ශාක වර්ග අතර වල්දෙල්, ඇටඹ, කළු මැදිරිය, මිල්ල, පලු, වීර, අරළු, බක්මී..... ආදී වූ දෑ බොහෝමය. ඊට අමතරව බිම් තඹුරු, එරමිණියා වැනි කඩොලාන ශාක ද මෙහි හට ගනී. එසේම විවිධ සර්ප වර්ග, මැඩි වර්ග මෙන්ම සමනල වර්ග ද මෙහි වාසය කරති.

එදා කුවේණියගේ වාස භූමියක් බවට පත්ව තිබූ බව සැලකෙන මෙම වනෝද්‍යානය එකල සාරවත් භූමි ප්‍රදේශයක්ව පැවතුණු බවට අදත් සාක්ෂි දරයි. පුරා විද්‍යා ගවේශණයන්ගෙන් හෙළි වී ඇති තොරතුරුවලට අනුව විජය කුමරු ලක්දිවට ගොඩ බසින්නට පෙරදී පවා මෙහි ජනාවාස පිහිටුවා තිබූ බව පැවසෙයි. මේ අනුව විලපත්තුව කාලයක් තිස්සේ බොහෝ පුරාවිද්‍යා සාධක සඟවාගෙන ඇති බව පැහැදිලිය. මෙම වනාන්තරය වර්තමානයේ වන විනාශය යන මාතෘකාව යටතේ බොහෝ සෙයින් කතිකාවට ලක් වන අතර ශ්‍රී ලංකාවේ වන විනාශ නාමාවලියේ ප්‍රමුඛවම පවතින වනාන්තරයක් ලෙස හැඳින්විය හැකිය.

යාල වනෝද්‍යානය




යාල වනෝද්‍යානය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පලාතේය. මෙය "රුහුණු වනෝද්‍යානය" ලෙසින් ද හඳුන්වනු ලබයි. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අයත් නව මෙම වනෝද්‍යානය හෙක්ටයාර 126,800ක් පමණ විශාලත්වයෙන් යුක්තය. ජාතික වනෝද්‍යානයක් සේ සැළකෙන මෙහි මායිම් වශයෙන් දකුණු දෙසින් ඉන්දියන් සාගරයත්, උතුරු දෙස මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඌව කඳු ප්‍රදේශයත්, බටහිරින් කතරගම කඳු වැටි සහ මැනික්  ගඟේ අතු ගංඟාවකින් ද මායිම් වී පිහිටීම සුවි‍ශේෂීත්වයකි. වියළි කලාපයට ආවේණික කුමුක්, සියඹලා, හොර, කොහොඹ, පලු, වීර, මොර, දිවුල් වැනි ශාකයන් ද කරඹ, පතොක්, එරමිණියා,කැකිල්ල, නවහන්දි වැනි පඳුරු වර්ග ද ඉලුක්, මානං වැනි තෘණ වර්ගද බහුලව දක්නට ලැබේ. සිවුපා සතුන් වශයෙන් අලි,ඇතුන්,ගෝණ, මුවන්, දිවියන්,වලසුන්, කුළු මීමන් සහ වල් ඌරන් වැනි සතුන් ද වාසය කරති. එසේම මධ්‍යම ප්‍රමාණයේ සතුන් වන ඉත්තෑවුන්, කබල්ලෑවුන්, රිලවුන්, උගුඩුවන්, මුගටින් මෙන්ම දේශීය විදේශීය පක්ෂි වර්ග ද මෙම වනෝද්‍යානයේ බහුලව වාසය කෙරේ.  එම දේශීය පක්ෂීන් අතර මොණරුන්, වලි කුකුළන්,සේරුන් ද විදේශීය පක්ෂීන් අතර අවිච්චියන්, වටුවන් ආදීන් ද දැකගත හැකිය. ඊට අමතරව විවිධ උභය ජීවී විශේෂයන් ද, සර්ප විශේෂයන් ද, මත්ස්‍යය විශේෂයන් ද වෙයි. පාලනය කිරීමේ පහසුව සඳහා මෙම යාල වනෝද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර ඒවායේ බොහෝ වැව් සහ ජල සම්පත් ඇති නමුත් ඉඩෝර කාල වලදී ඒවා සිඳී යනු ඇත.

ගල්ඔය ජාතික වනෝද්‍යානය




අතීතයේදී දිගාමඩුල්ල නමින් හැඳින්වූ මෙම ප්‍රදේශය අතීතයේදී  වී ගොවිතැන සඳහා යොදාගෙන ඇති බවට පැරණි නටඹුන් සාක්ෂි දරයි. හෙක්ටයාර 25,900ක පමණ වන මෙම භූමි ප්‍රදේශය වර්තමානයේදී කොටස් හතරකට බෙදා ඇත. හෙළ රජ දවස ගොවි බිමක් වූ නමුදු පසු කලකදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වී ගොවිතැනට ප්‍රමුඛස්ථානයක් නොදුන් නිසා එම බිම් පුරන් වී ගොස් ඇත. මොණරාගල සහ අම්පාර යන  දිස්ත්‍රික්කවලට අයත් ගල්ඔය වනෝද්‍යානය තුළ වියලි කලාපීය දේශගුණික ලක්ෂණ දැකගත හැකිය. අරළු, බුලු, පලු, මිල්ල, වීර ආදී ශාකයන් ද, කටු පඳුරු ආදිය ද සහිත මෙම භූමිය ජෛව විවිධත්වය අතින් ඉහළය. අලි, ඇතුන්, ගෝණ, මුවන්, වල් ඌරන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂි විශේෂ සමූහයක් ද මත්ස්‍ය වර්ගයන් ද මෙහි වාසය කරනු ලබයි. එසේම ගල්ඔය වනෝද්‍යාන භූමිය දුර්ලභ ඖෂධ ශාකයන්ගෙන් යුක්ත වන බවට බොහෝ ප්‍රචලිතය. දීඝවාපී පුදබිම ද, ගල්ඔය ව්‍යාපාරය ද මෙම බිමෙහි ඇති මූලික සම්පතක් සේ සැලකිය හැකිය.

උඩවලව වනෝද්‍යානය



රත්නපු දිස්ත්‍රික්කයට අයත් වන මෙම වනෝද්‍යානය එක් දිසාවකින් මොණරාගල දිස්ත්‍රික්කයට ද මායිම්ව පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 30,821කි. මෙම වනයෙහි එක් කොටසක් වියළි කලාපයටත්, අනෙක් කොටස අන්තර් වියළි කලාපයටත් අයත් වීම මෙහි දක්නට ඇති සුවිශේෂීත්වයකි.  එසේම වියළි කලාපයට ආවේණික වූ ශාක වර්ග මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර මිල්ල, බුරුත, කෝන්, පලු, වීර, වල් කොහොඹ ආදී ශාක වර්ග ද කරඹ, එරමිනියා, ගඳපාන, නාබිරිත්ත, රත්මල්, බැබිල වැනි පඳුරු ද ඉලුක්, මානං වැනි තෘණ වර්ගයන් ද බහුලව ඇත. අලි ඇතුන්, ගෝණ මුවන් වැනි සතුන් සහ ඉත්තෑ, කබල්ලෑ, වඳුරු ආදී සිවුපා සතුන් ද මොණරුන්, වළි කුකුළන් සහ කොකුන් ද විෂ සහිත සතුන් හා වෙනත් උරඟ වර්ගයන් ද මෙම වනෝද්‍යානයේ දැකගත හැකි වන අතර මෙහි පිහිටා ඇති ජලාශවල බොහෝමයක් මිරිදිය මත්ස්‍ය වර්ගද වාසය කරනු ලබති.

ඓතිහාසික පුදබිමක් සේ සැලකෙන බුදුගල සහ ගිරිහඬු වෙහෙර ද, මදුනාගල ආරණ්‍යද පිහිටා ඇත්තේ මෙම වනාන්තරය ආශ්‍රිතවය. උඩවලව යෝජනා ක්‍රමය නම් වූ ව්‍යාපෘතියට ද අයත් වන මෙම වනෝද්‍යානය ජෛව විවිධත්වයෙන් පිරිපුන් අගනා සම්පතක් සේ සැලකීම වඩාත් සුදුසුය.

වස්ගමුව වනෝද්‍යානය




විවිධාකාර වූ සත්ත්ව සහ ශාක ප්‍රජාවන්ගෙන් අනූන වූ වනෝද්‍යානයක් වන මෙහි බටහිර දෙසින් මොරගහ කන්ද ජලාශයත්, නැගෙනහිරින් මාදුරුඔය ජලාශයත්, උතුරු දෙසින් පරාක්‍රම සමුද්‍රයත් යන ත්‍රිකෝණාකාර ජල මූලාශ්‍රයන්ගෙන් වට වී ඇත. හෙක්ටයාර 39,325ක පමණ වපසරිය ඇති මෙහි අලි ඇතුන් සහිත විශාල ප්‍රමාණයේ සත්ත්ව විශේෂයන්ගේ නිජ භූමියක් සේ සැලකෙයි. වස්ගමුව කඳුකරයෙන් ආරම්භ වී ගලා යන අඹන් ගඟ, මාදුරු ඔය, උල්හිටිය ඔය සහ කලා ඔය ආදී ජල ධාරාවන්ගෙන් මෙම වනෝද්‍යානය පෝෂණය වනු ලබයි. එසේම සුවිශේෂී සමනල විශේෂ 50ක් පමණ මෙහි දැකගත හැකි වන අතර ගොළු බෙල්ලන්, හැකරැල්ලන් ඇතුළු පණු වර්ග ත් ජලාශ්‍රිලව ලූලි, මඟුරා, කොරළියා, කාවයියා වැනි මත්ස්‍ය වර්ගත් මෙහි වාසය කරනු ලබයි.

හෝර්ටන් තැන්ත




ඉතා සෞම්‍ය සිසිල් දේශගුණික තත්වයක් යටතේ පිහිටා ඇති හෝර්ටන් තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500ක් පමණ වෙයි. ඉංග්‍රීසි යටත්විජිත සමයේ මෙහි "හෝර්ටන්" නම් ආණඩුකාරවරයෙකුගේ නම යෙදීමෙන් මෙය හෝර්ටන් තැන්න නමින් ව්‍යවහාරයට එක්ව තිබේ. නිරන්තරයෙන් මිහිදුමින් වැසී ඇති මෙම භූමිය නිරන්තරයෙන් තෙතමනයකින් යුක්ත වේ. අධික ශීතල කාලයට මල් තුහින හෙවත් හිමි පියළි ද මෙම භූමියට පතිත වෙයි. මෙම ප්‍රදේශයේ දකුණු කෙළවර ලෝකාන්තය නම් මහා ප්‍රපාතයද පිහිටා තිබේ. මෙම කඳු මුදුනින් ගංඟා කිහිපයක්ම ආරම්භ වන අතර අග්‍රා ඔය, බගවන්තලාව ඔය, බෙලිහුල් ඔය ඉන් කිහිපයකි. බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල ආදී රමණීය ලෙස ඇද හැලෙන දියඇලිවලින් ද හෝර්ටන් තැන්න සුන්දරත්වය තව තවත් තීව්‍ර වෙයි.

ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් භූමි භාගයක් වන මෙහි විවිධාකාර සත්ත්ව වර්ග මෙන්ම ශාක වර්ග ද රාශියක් දැකගත හැකිය. ඒ අතර එම ප්‍රදේශයට ආවේණික වූ  ෆයිනස් වර්ගද, ඕකිඩ් වර්ග ද බහුලව හමුවෙයි. එබැවින් එවක පැවති රජය මඟින් 1969දී හෝර්ටන්තැන්න රක්ෂිතයක් බවට පත්කරන ලදී. ගෝනා, වලහා, වඳුරා, හාවා, ඉත්තෑවා, මුගටියා වැනි සිවුපා සතුන් ද, රාජාලියා, වළි කුකුළා වැනි පක්ෂීන් ද විවිධ සමනල වර්ගද මෙහිදී නිරන්තරයෙන් දක්නට ලැබෙයි. නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටා ඇති මෙම භූමි භාගය හෙක්ටයාර 3160කින් පමණ සමන්විත වෙයි. මෙරට විසූ යුරෝපීයන් වඩාත් ඇලුම් කළ මෙන්ම ජනප්‍රිය ස්ථානයක් වූ හෝර්ටන්තැන්නේ ඇති ලෝකාන්තය නිසා එදා මෙන්ම අදත් දෙස් විදෙස් සංචාරකයින් රාශියක් මේ කරා ඇදී එයි.

බුන්දල වනෝද්‍යානය




ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන මෙම භූමි ප්‍රදේශය තුළ ඉපැරණි වෙහෙර විහාර රැසක නටඹුන් දක්නට ලැබේ. බුන්දල සිට හම්බන්තොට දක්වා විහිදී ඇති මුහුදු තීරය මෙම වනෝද්‍යානයට අයත් වන අතර එය හෙක්ටයාර 6220ක මුළු වපසරියකින් යුක්ත වෙයි. මෙම භූමි භාගයේ ලුණු ලේවායන් පහක් පිහිටා තිබීමද මෙහි සුවිශේෂීත්වයක් සේ සැලකිය හැකිය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ක් පමණ වන අතර බුන්දල වනෝද්‍යානය අඩවි තුනකට ද බෙදා දක්වා ඇත. එනම්,

  • වැලිකඳු සහිත වෙරළ තීරය
  • වෙරළ තැනිතලා ප්‍රදේශය
  • අභ්‍යන්තර වෙරළ තැනිතලාව

යනුවෙනි. මෙම වනෝද්‍යානය බෙහෙවින් ප්‍රසිද්ධ වන්නේ පක්ෂීන් සඳහාය. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි වර්ග පමණක් නොව සංක්‍රමණික පක්ෂි වර්ග රාශියක්ද මෙහිදී දැකගත හැකි වෙයි. සර්ප ගහණයෙන්ද මද නොවන මෙම වනෝද්‍යානය අලියා, දිවියා , වළහා, ගෝනා, නරියා, කොළ දිවියා ආදී සිවුපාවුන්ගේද නිජ භූමියක් සේ සැළකිය හැකිය. එසේම මදුරුතලා, වරා, බිම් තඹුරු වැනි පඳුරු වර්ගද, හාතවාරිය, කටුපිල සහ අගමුල් නැති වැල් ජාති ද මෙහිදී කොතෙකුත් දැකගත හැකිය. තවද මෙහි පිහිටා ඇති ජලාශයන්හී ද ලංකාවට ආවේණික වන මත්ස්‍ය වර්ග බොහෝමයක් වාසය කරති.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*



Thursday, May 25, 2017

එකම සිහිනය නුඹයි..





                                                   ඉඩෝරයෙන් ඉරි තැලුණු 
                                                       රුදු කතර මම තමයි,
                                                   ඒ මතට ඇද හැලෙන
                                                       රුහිරු හිරි පොද නුඹයි..
                                                   අමාවක අහස් ගැබ
                                                        තනි තරුව මම තමයි,
                                                   මගේ සිත් අහස මත
                                                       පායාපු සඳ නුඹයි..
                                                   ගිරි දුර්ග පසු කරන් 
                                                       නුඹ සොයා එනවමයි,
                                                   සසරෙ දිවි ගෙවෙන තුරු
                                                      එකම සිහිනය නුඹයි..

                                                
                                              *මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Wednesday, May 24, 2017

විරු සැමරුම මැයි 18ට සීමා විය යුතුද???


ගෙවීගිය සතිය තුළ වීරෝධාර රණවිරුවන් පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්විණි. ඒ උණුසුම දැන් පහව ගොස්ය. නමුත් රණවිරු සැමරුම්  දිනකට හෝ සතියකට පමණක් සීමාවීම කෙතරම් සාධාරණද යන්න දෙවරක් සිතා බැලිය යුතුය. ඒ පිලිබඳව මදක් විමසීමට අතීතයේ දෙස එහි කුරිරු අත්දැකීම් වෙත මතකය ගෙන යා යුතුය.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ජාති  ආගම් භේදයකින් තොරව ලාංකිකයන්ගේ ජීවත් වීමේ නිදහස මෙන්ම සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් සියල්ලට අතිශය තර්ජනයක් වූ ලොව දරුණුතම ත්‍රස්වාදය සේ සලකන කොටි ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දමා දැනට වසර අටක් ගත වී ඇත. දියුණුව කරා පිය මනින තුන්වන ලෝකයේ  සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ දියුණුවේ මංපෙත් අසුරමින් පිළිලයක් සේ වැඩුනු කුරිරු ත්‍රස්තවායකින් ඇලලී ගොස් තිබූ බව සමහර දෙනෙක්ට දැන් අමතකය. ජාතිවාදී දෘෂ්ටියෙන් මිදී ස්වාධීනව බලන කල්හි මෙය සිංහලයාගේ  විජයග්‍රහණයක් ලෙස පමණක් සැලකිය නොහැක.

මන්ද දශක තුනක් තිස්සේ යුද්ධයෙන් බැට කෑවේ සිංහලයා පමණක්ම නොව. උතුරේ දෙමළ, මුස්ලිම් යන ජන කොට්ඨාශයන්ගේ ද  ජීවිතවලට මෙය මහත් තර්ජනයක් විය. ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිත ද අඩාල විය. බස් රියේ, මහමග, පාසලේ, සේවා ස්ථානයේ පමණක් නොව පන්සලේ පල්ලියේ කෝවිලේදී පවා ද මරණ බියෙන් ගත සිත තැති ගැන්මෙන් යුතුව සියල්ලන්ටම ජීවත් වීමට සිදු විය. එමෙන්ම ජීවිත අහිමි වූයේ ද සියල්ලන්ගේමය. ගැලූ ලේ දහරාවන් වෛවර්ණ නොවීය. එකම රත් පැහැයක් විය.  එනිසා මෙය හුදෙක් ජාතිවාදී ජයග්‍රහණයක් සේ දැකීම සුදුසු නැත. එසමයෙදී අරංගල භික්ෂු ඝාතනය, කැබිතිගොල්ලෑව බස් රථ අනතුර, දළඳා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, මහබැංකු බෝම්බය ආදී සිද්ධීන් අදටත් මතකයට නැගෙන විට සිත් කම්පා කරයි. දරුවන්ට දෙව්පියන්, දෙමව්පියන්ට දරුවන් අහිමි කළ, මහ මුහුදකට සම දුක් ගංඟා මැදින් පැතිර ගිය එම රුදුරු සංහාරය එකල මුළු මහත් සමාජයටම මහත් පීඩනයක් විය.


කෙසේ වුවද අවසානයේ උතුර -දකුණ- නැගෙනහිර සහ බටහිර එක ධජයක සෙවන යටට රැගෙන සාමකාමී දේශයක් තුළ සහජීවනයේ මල් කැකුළු පුබුදුවාලන්නට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යයට සහ ශක්තියට  හැකියාව ලැබිණි. ඔවුන් සතුව අනෙකුත් රටවලට මෙන් අති නවීන ආයුධ හෝ පරමාණු බෝම්බ නොවීය. එසමයෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත කණ්ඩායම අන්තර්ජාතික වශයෙන් වර්ධනය වී යුධ ශක්තීන් අත්පත් කර ගත්තද ලංකා හමුදාව සතුව ඒ කිසිත් නොවීය. තිබුනේ සමස්ථ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේම සිතේ වූ ආත්ම විශ්වාසය පමණි. එකී ආත්ම විශ්වාසය පෙරදැරිව ලාංකික පුන්‍ය භූමිය තුළ විස්මිත පුනරාගමනයක් සනිටුහන් කරමින් මෙම මහා වික්‍රමය යුධ විරුවන් විසින් ජයග්‍රහණය කළේ මුළු ලොවක්ම මවිත කරවමිනි.


යුධ ජයග්‍රහණයෙන් පසුව වසන්තය උදා වූයේ දකුණ නැගෙනහිරට පමණක් ද නොවේ. උතුරු වසන්තයද උදාවිය. වසර ගණනාවක් අඩාල වී සිටි යාල් දේවිය ද කොළඹ සිට යාපනය දක්වා දිවෙන්නට ඇරඹිණි. යාපනයේ සිසුන්ට දකුණේ විශ්ව විද්‍යාලවලටද, දකු‍ණේ සිසුන්ට උතුරේ විශ්ව විද්‍යාලවලටද බියක් සැකක් නොමැතිව යෑමට ඒමට භාග්‍ය උදාවිණි. එනිසා වසන්තය උදාවූයේ මුළු මහත් ලක්දිවටමය. 
  

එනිසා වීරෝධාර රණවිරුවන් අප මෙසේ සැමරිය යුත්තේ ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මෙරටින් තුරන් කිරීම නිසාම නොව, එසේ අසීරුවෙන් දිනාගත් සාමය අදටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් සතුව ඇති සුවිශේෂී හැකියාව ද නිසාය.ලාංකිකයන් අද අත්විඳින මෙම සාමකාමී වාතාවරණය ඇති කරලීම උදෙසා  රණ විරුවන්  26 000ක් පමණ සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ බවද, 14 000ක් පමණ අදටත් ආබාධිත තත්වයෙන් රණවිරු රෝහල්වල ප්‍රතිකාර ලබන බවද මෙහිදී කණගාටුවෙන් මෙන්ම කෘතඥපූර්වකව සිහිපත් කළ යුතුය.

එසේම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සිදු කළ සහ සිදු කරන කැපකිරීම ද  සුළුපටු නොවේ. එසේම එවක සිටි රාජය නායකයන්ගේ මඟ පෙන්වීමද, ආගමික නායකයන්ගේ ආශිර්වාදයද යෝධ පවුරක් සේ මෙම විජයග්‍රහණය  වටා තිබූ බව ද සත්‍යයකි.

එවන් උදාර  කැපකිරීමකින් ලබාගත් මේ දුර්ලභ සාමය නොනැසී පවත්වාගෙන යමින් අනාගත පරම්පරාවටද නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් උරුම කරදීම උදෙසා කැපවීම ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක අංශවල පමණක් නොව වත්මන් රජයේ මෙන්ම සමස්ත ජාතියේම වගකීමකි. දිනාගත් සාමය පමණක් ද නොව රණවිරුවන්ගේ අභිමානය ද ජාතික ආර්ථික සම්පත්ද ආරක්ෂා කර ගනිමින් ඒකීය රාජ්‍යක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දිවි හිමියෙන් කටයුතු කිරීම තම ජීවිත සහ අත් පා අහිමි කර ගනිමින්, අංගවිකලභාවයට පත්වෙමින් ආබාධිත තත්වයට පත්ව සිටින මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ නාමයට ද  මේ මොහොතේ කළ හැකි උතුම්ම ගෞරව උපහාරය වේ.


එසේම ජාතියක් ලෙස අප වසා සිටි අඳුරු අතීතයේ සෙවනැලි නැවතත් ඇති නොවන්නට වගබලා ගැනිම සියළු දෙනාගේ ප්‍රමුඛ වූ ජාතික වගකීමක් සේ සැළකිය යුතුය.. වර්තමානයේ වුවද හිස ඔසවන්නට වෙර දරන ජාතික හෝ වේවා ආගමික හෝ වේවා බෙදුම්වාදයේ විවධ ස්වරූපයන් අභිමුව එකි අවස්ථාවන්  බුද්ධිමත්ව තේරුම් ගනිමින් ඉතාමත් ඉවසිලිවන්තව හා කල්පනාකාරීව මුහුණ දීමට සැවොම සිතටගත යුතුය. මෙහිදි රජයේ මධ්‍යස්ථ මැදිහත්වීම ද අතිශයින් වැදගත්වේ. මන්ද, දහස් ගණනකගේ ජීවිත පූජාවන්ගේ අනුහසින් දිනාගත් දේශය නැවතත් යුද්ධය නැමැති මහා අගාධයට ඇද වැටී ලේ විලක් බවට පත්වුවහොත් අපගේ දරු පරපුර අනාගතයේදි අපටම සාප කරනු ඇත. නිදහස වෙනුවෙන් සටන් වැද දිවී පිදූ එ් වීර සෙබලුන් සොහෙනේ බිමින් නැගිට එනු නියතය. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස වසර අටකට පෙර අප අත්කර ගත් සාමයේ හා සමගියේ විජයග්‍රහණය ඉදිරියටත් දිවි පරදුවට තබා හෝ ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකමකි.

අතීතයේ "ආමිකාරයා" ලෙස හැඳින්වූ හමුදා නිලධාරීන් මෙම යුද්ධයත් සමඟ රණ විරුවන්, හමුදා සෙබලුන් ලෙස හඳුන්වන්නට විය. මහ මගේදී හමුදා නිල ඇඳුමක් හැඳගත් අයෙකු දුටු විට හිස නමා ආචාර කරනන්ට තරම්, බසයේදී නැගිට ආසනය පරිත්‍යාග කරන්නට තරම් ඔවුන් කෙරෙහි ගෞරවයක් සෙනෙහසක් අප හද පත්ලෙන්ම උපන්නේය. රණ විරුවන් කෙරෙහි  වන මෙම හද ගැස්ම කිසිදාක අමතක නොකළ යුතුය. මන්ද, ශ්‍රී ලංකා මාතෘභූමිය මත අද අප මෙසේ නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ට පින්සිදු වන්නටය. මැයි 18  දින පුෂපෝපහාරයෙන්, හමුදා වෙඩිමුර හෝ උත්තමාචාරයන්ගෙන් රණවිරුවන් පිදීම පමණක් නොසෑහේ. සදාකල්හිම හදවතේ බැතිය ඔවුන් කෙරෙහි පිදිය යුතුය. මා දකින ඔවුන් සඳහා වූ සුදුසුම හැඳින්වීම වන්නේ ඔවුන් " දේශයේ මුර දේවතාවන්" ලෙස සැළකීමයි. දේශයේ මුර දේවතාවුනි, ඔබ සදා අමරණීයයි..  ඔබවන් උදාර පුතුන් මෙලොවට බිහි කළ මව්පියවරුනි ඔබටද පින්සිදු වේවා.. ශ්‍රී ලංකා ලක් මෑණියනි එක්සත්ව එක්සිත්ව නුඹ සදාකල් ලෝතලයේ වැජඹේවා..!!!


අවසාන ලෙස සමස්ත ශ්‍රී ලංකද්වීපයටම සිහිපත් කළ යුත්තක් තිබේ. " නිදහස"  සහ " සාමය" යනු කිසි කලෙකත් ලාභදායී වරප්‍රසාදයක් නොවේ. එය දිවි හිමියෙන් රැකගත යුත්තකි. එසේ නමුදු එය කිනම් මොහොතක කුමන අයුරකින් දෙදරා යන්නේද යනන් අප නොදනිමු. එනිසා එක්සත්ව එක්සිත්ව මේ සියල්ලටම මුහුණ දෙන්නට ජාතියක් සේ අප වගබලාගත යුතු වන්නෙමු.



*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Tuesday, May 23, 2017

ලෝක පුදුම හත

මනසින් උසස් යැයි සම්මත මානවයා ඈත අතීතයේ පටන් විස්මයජනක අපූර්ව  නිර්මාණ බිහි කරන්නට උපන් හපනුන් විය. විටෙක ඔවුන්ගේ නිර්මාණ හැකියාවන් නරඹන්නන්ට විශ්වාස කළ නොහැකි තරම් විය. මන්ද, මිනිස් මොළයෙන් හා මිනිස් ශ‍්‍රමයෙන් මෙවැනි විස්මිත නිර්මාණ කළ හැකි දැයි යන්න සිතෙන තරමටම එම නිර්මාණ විස්මයජනක විය. එවන් නිර්මාණ ''ලෝක පුදුම'' ලෙසින් නම් කරන්නට මිනිසා පෙළඹුණේ ද එබැවිනි. ඒ අනුව එහි ප්‍රමුඛතම නිර්මාණ හතක් ''ලෝක පුදුම හත'' ලෙස නම් කෙරිණි.

ලොව විස්මිත නිර්මාණ අතරින් මෙලෙස ලෝක පුදුම හතක් තෝරා ගැනිමට නිව් ඕපන් වර්ල්ඩ් කෝපරේෂන්  (New Open World Corperation) නම් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් විය. ඔවුන් ඒ සඳහා අවශ්‍ය සැළසුම් 1999 වසරේදී සකස් කරනු ලැබීය. මේ සඳහා සුදුසු නිර්මාණ 65ක් ඉදිරිපත් වූ අතර පසුව එය නිර්මාණ 21 ක් දක්වා අවම විය.

ඉන් අනතුරුව එසේ නම් කෙරුණු විස්මිත නිමැවුම් විසි එකෙන් තමන් කැමති නිර්මාණ වලට ඡන්දය දීමේ වරම ලෝකවාසී  ජනතාවට භාර කිරීමට මෙම කණ්ඩායම තීරණය කරන ලදී. මෙම ඡන්දය වසර 6ක් පුරා එනම් 2001 වසරේ සිට 2007 වසර තෙක් පැවැත්වූ අතර ඒ සඳහා දුරකථනය සහ අන්තර්ජාලය ඔස්සේ එක් පුද්ගලයෙකුට එක් ඡන්ද අවස්ථාවක් ලෙස ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවිය. මිලියන සියයකට අධික මහජනතාවක් මේ සඳහා ස්ව ඡන්දය භාවිතා කර ඇත. මේ අයුරින් අවසානයේ ලෝකයේ  පුදුම හත පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති උත්සවයේ දී 2007 වසරේ 07 වැනි මස 07  ප‍්‍රකාශයට පත් කරන ලදී.

බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව


බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවෙහි උස මීටර් 38කි. මුලු නගරය පසුබිමි කරගෙන අහස උසට නැගී සිටින මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635කි. ටිජුකා ජාතික වනෝද්‍යානයේ පිහිටි මීටර් 700 ක් උස කොර්කොවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මෙම ප්‍රතිමාව ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වූ පෝල් ලැන්ඩොව්ස්කි විසින් 1931 ඔක්තෝම්බර් 12 වැනි දින නිමකරවන ලදී. මෙම ප්‍රතිමය නෙලීම සඳහා කිහිප අවස්ථාවකම උත්සාහ දරා ඇති අතර අවසානයේ රියෝ ද ජැනිරෝ නුවර සිටි අගරදතුමාගේ යෝජනාවකට අනුව බ්‍රසීලියානු කතෝලික පල්ලිවල වැඩි දායකත්වයෙන් යුතුව සිදු විණි.

චීන මහා ප්‍රාකාරය


නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති මෙය  මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මාණයක් සේ ලෝ සුපතලය. මෙහි ඉදිකිරීම් ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ආරම්භ වී ඇති අතර ක්‍රි.පූ 16 වන සියවස දක්වා ඉදිකිරීම් සහ  ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මෙම මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙහි දිග කි‍.මී. 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මාණය කර ඇත. ප්‍රාකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ඒ දිගට මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මෙහි මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ.

ඉතාලියේ කොලෝසියම


ඉතාලියේ රෝම නගරය මධ්‍යයෙහි පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව කියවේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් මෙහිදී ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.අප්‍රිකානු වනාන්තර වලින් ගෙන ආ වන මෘගයන් රඳවා තැබීම සඳහා වෙන් කළ කාමර පෙළක නටඹුන්  වර්තමානයේදී පවා දක්නට ලැබෙයි. ක්‍රි.ව.217 දී අකුණු සැර වැදීම ගිනි ගැනීම හේතුවෙන් කොලෝසියම දරුණු ලෙස විනාශයට පත්ව ඇත. මෙහිදී  ක්‍රීඩාංගණයේ දැව වලින් සාදන ලද ඉහළ මාලය සම්පූර්ණයෙන්ම ගින්නට දැවී ගොස් ඇති අතර දෙවැනි තියෝඩොසියස් සහ තුන්වැනි වැලන්ටිනියන් කාලවලදී කොලෝසියමේ විවිධ කොටස් නැවත සැකසීමට පියවර ගෙන ඇත. නමුත් වරින් වර ගින්නට ද භූමි කම්පාවන්ටද ගොදුරු වෙමින් පැවැති කොලෝසියම රෝම අධිරාජ්‍යයේ  බිඳ වැටීමත් සමඟම ගරා වැටෙන්නට පටන්ගෙන ඇත.

පෙට්‍රා නගරය 


ක්‍රි.පූ 9 සිට ක්‍රි.පූ 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර ‍වූයේ මෙම පෙට්‍රා නගරයයි. බ‍ටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් මෙය ඉතා දියුණු තත්වයක පැවැති බව පෙනේ.අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති මෙම නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුණදීමට හැකි වන පරිදි නිර්මාණය කොට තැබීම මෙහි විශේෂත්වයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස සැළකෙයි. මෙම නගරයෙන් රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.

ජේරුහි මාචු පීචු බලකොටුව



මෙය දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රි.ව 1500 දී පමණ ඉන්කාවරු විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවක් ලෙස මෙම මාචු පීචු බලකොටුව සැළකේ.  මෙම  නගරය ඉදිවී ඇත්තේ මීටර් 2430 ක් උසින් පිහිටි කඳු වළල්ලක් මතය. ඉන්කාවරුන්ගේ නැති වුණු නගරය නමින් හඳුන්වන මාචු පිචු බලකොටුව 1983 දී ලෝක උරුම ස්ථානයක් ලෙසින් ද නම් කෙරුණි. ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මදින ලද වියළි ගඩොලින් මෙහි ගොඩනැඟිලි ඉදි කර තිබීම සුවිශේෂී වේ.තසත් විශේෂත්වයක් වන්නේ මෙහි ගඩොල් එකිනෙකට සවි කිරීමට බදාම භාවිතා කර නොමැති වීමයි. ඉන්කාවරුන් රෝද භාවිතයට හුරු වී සිටිය නොමැති නිසා මෙම ගොඩනැඟිලි ඉදි කිරීමට අවශ්‍යය අමුද්‍රව්‍ය කඳු මුදුනට රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයා ගන්නට නොහැකි වූ අභිරහසක් බවට පත්ව ඇත .එසේම මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාසයක් ඇත.

චිචෙන් ඉට්සා පූජනීය නගරය



ආදි ‍කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මාණය කරන ලද බව විශ්ව‍ාස කෙරේ. ක්‍රි.ව 750 සිට ක්‍රි.ව 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇති අතර පඩි පේළි හතරේ මුළු පඩි ගණන 365කි. මෙම පඩි ගනන වර්ෂයේ දින ගණනට සමාන වීම අවධානයට යොමු විය යුතු කරුණක් සේ සැළකිය හැකිය.
ඈත අතීතයේ දී මෙම භූමියේ ගොඩනැගිලි සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර තිබුණු බවට සාක්ෂිි හමුව ඇත. කෙසේ වෙතත් මේ වන විට ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි 30 ක් තරම් වූ ප්‍රමාණයක නටඹුන් පමණි.මෙම පෞරාණික නගරයෙන් හමුවන නටබුන් යුග දෙකකට අයත් වන ඒවා ලෙස සැලකේ. 7 වන සහ 10 වන සියවස් වලට අයත් වන මෙම නටඹුන්වලින් 7වන සියවසෙහි ඒවා ඓතිහාසික මායා ශිෂ්ඨාචාරයටත්, දහවැනි සියවස අගභාගයේ සිට දහතුන් වැනි සියවස මුල් භාගයට අයත් වන නටඹුන් මායා, ටොල්ටෙක් යුගයත් සංකේතවත් කරයි.

ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය


මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යයා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු තම බිසවගේ දේහය තැන්පත් කර ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරය ලෙස හඳුන්වයි.කිරි ගරුඬෙන් නිර්මාණය කර ඇති මෙම ප්‍රාසාදය ඉන්දියාවේ අගනුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව.1632දීය. 20, 000 ක පමණ සේවක පිරිසක් වසර 18 ක් පුරා මෙ තැනීමට සිය ශ්‍රම ශක්තිය යොදවා ඇති බව සඳහන් වේ. ලෝකයේ නොයෙක් දෙසින් ගෙනා වටිනා මුතු මැණික් වලින් හා රන්කම් වලින් ප්‍රසාදය අලංකාරවත්ව ඇත. වටේටම රතු වැලි ගලින් කළ ප්‍රාකාරයක් ද වේ. එයට ඇතුළු වීම සඳහා රතු වැලි ගලින්ම කැටයම් කළ ආරුක්කුවක්, ඉන්පසු සුපිරිසුදු දිය පිරුණු පොකුණක් සහ  පොකුණ කෙළවරෙහි කිරි ගරුඬ ඇල්ලූ බිම මත මෙම ටජ් මහල ගොඩනගා ඇත. කෙසේ වුවද  මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇති අතර ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අවසානයේ අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් ලෙස නිමවී ඇත.

මෙම ලෝක පුදුම හත නම් කිරීමේදී ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගීසා හි පිරමීඩය යොදා නොගත් අතර එහිදී එයට ගෞරව ස්ථානයක් හිමි වී ඇත.

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*



Wednesday, May 17, 2017

එකම පැතුම



පිණි විසිරි මල් දෙපෙති   - හමාගෙන සුළං විත්
අප විසිර සැම තැනම          -   මතකයන් රජ කරයි...
සිනාකැන් දුරු වෙලා - සැඳෑ හිරු අවර යයි
අප නැතත් විදුබිමට -   අදත් හිරු නැගී එයි...

මතකයක නිවන ලය - දුක අඳුර පොදි බඳියි
දුක කියන්නට බැරිව - අපේ සිත් ගොළුව යයි..
කෙලි බිමේ මතකයන් - ශේෂ වී යනු දැනෙයි
මතකයේ සුවඳ මත - යළිත් සිත රිදුම් දෙයි...

කෙලි සිනා කවට බස්   -   අදත් මතකෙට නැගෙයි
සොඳුරු සිතුවම් මතක - සෙමෙන් සිත පාරවයි...
මිලිනවූ ඒ මතක - සිත කොනක ගුලි කරන්
කෙදිනකදි හෝ යලිත්  -   සුවඳ ගෙන මතකයේ
සෙනෙහසින් හමුවෙයන්  -   එකම පැතුමද එයයි...

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*


Tuesday, May 16, 2017


මිනිස් මොළය පිලිබඳ ඔබ නොදත් දේ...
                                                       
තම ශරීරයට සාපේක්ෂව විශාලම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ. මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විතවේ. මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12 ක් පැණ නගී. මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත්, මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත්, දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ. මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද, පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක.මිනිස් මොළයේ ආරක්ෂාව සඳහා ඒ වටා ආරක්‍ෂිත ආවරණ කිහිපයක් පිහිටා ඇත.
*වරාශිකාව (බාහිර ආවරණය)
*ජලාකාර පටලය (අතර මැද ආවරණය)
*වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)

මොළය නිර්මාණය වී තිබෙන්නේ නියුරෝන බිලියන ගණනක සංකලනයකින් බව සොයාගෙන ඇත. මොළයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගනු ලබයි. මේ නියුරෝන අතරේ සම්පර්කන ට්‍රිලියන 18 ත් – 32 ත් අතර ප්‍රමාණයක් ඇත. මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයකි. එම නිසා සෑම තත්පරයකම මොළයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640 ක් දක්වා ප්‍රමාණයක් වේ. මෙකී නියුරෝන එකිනෙකට සම්බන්ධ වී සංඥා එහා මෙහා ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස සිරුරේ බොහෝ චලනයන් මෙන්ම ක්‍රියාකාරකම් සිදුවනු ලබයි.
මෙම  ස්නායු එකිනෙකා හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (synapse) හරහායි. තත්පරයක කාලයක් තුලදී මෙවැනි සම්පර්කන ට්‍රිරිලියන 18ක් ක්‍රියාකරන බව දැනට සොයාගෙන ඇත.මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා ගමන් කිරීමට තරම් මිනිස් මොළය සංකීර්ණ වන අතර එය  සුපරි පරිගණකයටත් වඩා වේගයෙන් ක්‍රියාකරනු ලබයි. 2011 වසරේ දී ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැතිනම් super computer එක ලෙස කිරුළු පළඳා සිටි ජපානයේ K පරිගණකය නිර්මාණය කෙරුනේ මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මේ පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83,000ක් යොදා ගනු ලැබිණි.. ඒ සම්පර්කන ට්‍රිලියන 10.4 කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙනි.



මිනිස් හිස් කබල තුල කිලෝ ග්‍රෑම් 1.5 ක බරින් යුතු පටල මිනිසා ලබන අත්දැකීම් සියල්ලම ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් වී ඇති අතර නැවත එම දත්ත අවශ්‍ය වන විට ගබඩාවෙන් සොයා දීමටද ක්‍රියා කරයි. ස්නායු සම්බන්ධ විශේෂඥයින් එම දත්ත එකතුව "අනන්විත මතකය" (episodic memory) නමින් හඳුන්වනු ලබයි. මෙලෙස අනන්විත මතකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ එදිනෙදා මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයින්, කතාබහ ආදී සියලුම දත්ත සවිස්තරාත්මක ව ගබඩා කෙරෙන මතකයයි.  අපගේ මොළයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් පස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ  හැකියාව. මිනිස් මොළයේ මතක ධාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමාන්‍යයෙන් මිනිස් මොළයට terabyte 3 සිට 1000 දක්වා මතක ධාරිතාවක් ඇත. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරනු ලබයි. එබැවින්  මිනිස් මොළයේ මතකය වැඩි වීමට නම් මිනිසෙකුට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ මතයයි. පුද්ගලයෙකුට සිය ශරීරයට දැනෙන හැඟීම්,ආවේග සියල්ල ස්නායු හරහා ක්ෂණිකව ‍මොළය වෙත ගමන් කරන්නේ ඇදහිය නොහැකි තරම් අධි වේගයකිනි. එනම් මොළයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොළයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.

දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී මොළයේ ක්‍රියාකාරිත්වය අධික ලෙස වේගවත් වේ. නමුත් එයට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහාය. මොළයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් පුද්ගලයෙකු සිහිසුන් තත්වයට පත් වේ. මොලයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයට රුධිරය මෙන්ම ඔක්සිජන් ද අත්‍යාවශ්‍යය බව කියැවේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක. නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ ගතවුවහොත් ස්ථීර ලෙසම මොළයට හානි සිදුවේ. එසේම ශරීරයේ පවතින කොලෙස්ට්‍රෝල්වලින් 25% මොළය තුළ තැම්පත්ව ඇත. මෙලෙස මොළයට අත්‍යවශ්‍ය කොලෙස්ට්‍රෝල් ප‍්‍රමාණය නොතිබුනහොත් Dementia නම් රෝගය වැළඳීමේ අවදානම වැඩි වේ. කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වඩාත්  අඩු වීමෙන් මොළය මිය යෑමට වුවද ඉඩ ඇත.

ආරම්භයේදීම සඳහන් කළ පරිදි ශරීර ස්කන්ධයට සාපේක්ෂව මොළයේ ස්කන්ධය වැඩිම මිනිසාගේ ය. එය රාත්තල් 3 ක් පමණ වන බව ගණනය කර ඇත. සාමාන්‍යෙයන් අපගේ මොළයේ ස්කන්ධය සමේ ස්කන්ධයෙන් අඩක ප‍්‍රමාණයකි. ලොව සත්ත්ව  සංහතියේ වැඩිම ස්කන්ධයක් ඇති මොළය හිමිවන්නේ යෝධ තල්මසාට වන අතර එය රාත්තල් 17ක් පමණ වේ. පිරිමින්ගේ මොළය ස්ත්‍රීන්ගේ මොළයට වඩා ස්කන්ධයෙන් 10% වැඩිය. නියැන්ඩතාල් මානවයාගේ මොළය වත්මන් හෝමෝ සේපියන් මානවයාගේ මොළයට වඩා 10%ක්  විශාල බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. ඒ අනුව පසුගිය වසර 10,000-20,000 ඇතුළත මිනිස් මොළය ටෙනිස් බෝලයක තරම් ප‍්‍රමාණයකින් කුඩා වී ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් පමණ භාවිතා කරන අතර විද්‍යාඥයෙකු 12%ක් පමණ තම මොළය භාවිතා කරති. මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිතා කර ඇත්තේ තම මොළයෙන් 16%ක් පමණි.
කෙසේ වුවද සංගීතය ආදී සුපහන් හැඟීම් සහ ක්‍රියාකාරකම් අපගේ මොළයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි. තවද ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරවන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මො‍ළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම ප‍ර්යේෂකයෝ පවසති.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Friday, May 12, 2017

මනුසත් නැති මිනිසත් ගති



පන්සලේ ඔබ ඔවා සෙවණේ
නැණ ගුණැති බුදු පුතුන් වැඩුනේ
නැතත් ඔබගේ රුවක් මැවුනේ
දුන් දහම් ඇත සුසිත් මුදුනේ...
බුදුරදුන් සඟ සභාවන් මැද
දෙසූ මනහර චතුර ඒ හඬ
මුහුවෙලා උඩු සුළඟ හා වැද
සවන් සනහා නැගේ සිත් තුළ...
මලානික හිරු ලොව වෙලා ගති
සුවඳ කුසුමන් පරවෙලා ඇති
බුදුන් වැඩි ලක් බිමට අද සකි
නරුම සිත්පිත් පහල වී ඇති...
මවුන් දරුවන් නොහඳුනන ගති
මිනිස් වෙස්ගත් තිරිසනුන් වැනි
දනන් බිහිවී මෙලක සමිඳුනි
වඩිනු නැවතත් බුදුපියාණෙනි...


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Thursday, May 11, 2017

සම්බුදු වෙසක් තෙමඟුල අර්ථවත් කර ගනිමු






ශ්‍රී ලංකාව වූ කලී ලොව පෞඩ ඉතිහාසයකට උරුකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයෙකි. බුද්ධ ධර්මයට ප‍්‍රමුඛස්ථානය හිමිවන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ  සංස්කෘතික හර පද්ධතීන් හා අංග ලක්ෂණයන්ගෙන් සැදුම්ලත් අභිචාර විධි හා පූජෝත්සව ආදිය අනාදිමත් කාලයක සිට පරම්පරානුගතව පැවත එනු ලබයි. ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව මේ ආකාරයට බුදු සමයේ බලපෑම මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය වූ බව ඓතිහාසික සාධක මඟින් සනාථ වෙයි.

මෙසේ දඩයම් යුගයක ජීවත් වූ මානවයා ක‍්‍රමයෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගතව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහිද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, ශ‍්‍රද්ධාව ආදිය මූලික කරගත් මෙම බෞද්ධ පූජෝත්සවයන් තුළින් අපේක්ෂිත ප‍්‍රමුඛ පරමාර්ථය වූයේ ආගමික හැඟීම් මානව හදවත්වලට සමීප කරවමින් ඔවුන්ගේ සිත කය වචන යන ත‍්‍රිවිධද්වාරයෙහි සංවරය ඇති කිරීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්වයක් උදාවිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල් බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය.

මෙකී උත්සව අතුරින් තවත් දින කිහිපයකින් උදා වන බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් සමරනු ලබන වෙසක් උත්සවය බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි. ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන අවස්ථා අනුස්මරණය කරමින් බෞද්ධයින් විසින් මෙම උත්සවය පවත්වනු ලබයි. ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අාවේනික වූ සම්ප්‍රදායන්ට අනුකූලව  වෙසක් උත්සවය සමරනු ලබයි. මෙය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.

* සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකදීය.
* සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම සය වසක් දුෂ්කර ක්‍රියා කර සියලු කෙලෙස් නසා ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකදීය.
* බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑවේ ද වෙසක් පොහොය දිනකදීමය.


මෙම උතුම් තෙමඟුල මෙන්ම ලාංකීය බෞද්ධ ජතයාට වෙසක් උත්සවයෙහි තවත් වැදගත් සුවිශේෂීතා කිහිපයක්ම පවතියි.

* ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීම.
 * විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම.
*  දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම.
*  දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීම.

 කෙසේ වුවද අතීතයේ සිටම වෙසක් උත්සවය පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් ලෙස උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. එසේම එය අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වූ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් පවා හෙළි වෙයි. පුරාතන ශ්‍රී ලංකාවේ පැවැති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු  රාජ්‍ය සමයේ දීය.  දුටුගැමුණු රජු වෙසක් උත්සව 27ක් පැවැත්වූ බව එහි කියැවෙයි.ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය ඊටත් පෙර සිට පැවැත්වුණු බව විශ්වාස කළ හැකිය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය පැවැත්වූ බවට ද සාක්ෂි ඇත.එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බවට වෙනත් තර්කයක් අවශ්‍ය නැත. දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරුන් ද  පූර්ණ රාජානුග‍්‍රහය සහිතව වෙසක් උත්සවය මහත් හරසරින් යුතුව පවත්වා ඇත. භාතිය රජු  විසින් ද වෙසක් උත්සව 28ක් සිදු කළ බව ඉතිහාසයෙහි කියවෙයි. එහිදී බුද්ධ රූපයක් ප්‍රතිනිර්මාණය කර රථයක තැන්පත් කොට වීථී සංචාරය කරමින් දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් ලබා දීම සිදුව ඇත. වසභ රජු ද  ඔටුනු පලන්  දා පටන්ම පිළිවෙළින් වෙසක් උත්සව 24ක් පවත්වා ඇත.  වෝහාරතිස්ස රජු ද වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජාකර ඇත. මෙලෙස වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇති බව පැහැදිලිය.එසේම රාජ්‍ය භාණ්ඩාගාරයෙන් විශාල මුදල්  ප්‍රමාණයක්ද වෙසක් උත්සවය සඳහා වෙන් වී ඇති බව පෙනේ. මෙය රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනෙකුගේම අනිවාර්ය ධර්මතාවක් ලෙස පැවත ඇත. පොළොන්නරු යුගය වන විට වෙසක් උත්සවය තව තවත් දියුණුවට පත්වී ඇත. දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක්  පූජාවලිය තුළින් ද හමුවෙයි.පෙර කී පරිදි මහින්දාගමනයේ සිට අද දක්වාම බෞද්ධයින් වෙසක් උත්සවය සිය ජාතික ආගමික අංගයක් ලෙස මහත් හරසරින් යුතුව පවත්වන්නටයෙදෙයි. සෑම වසරකම මැයි මස වෙසක් මස  පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. මෙලෙස 1999දී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිර්දෙශ කර ගැන්මට දිවංගත හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සිදු කළ මෙහෙය මෙහිදී අමතක කළ නොහැකිය. එතුමාගේ උත්සාහයන් නිසා වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු  දිනයක් බවට පත්කර ගැනීමට හැකිවූ අතර වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමාගේ මෙහෙවර ද ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය. 

වෙසක් උත්සවයේ ඉතිහාසගත  තොරතුරු මෙසේ වන අතර වඩාත් වැදගත් වන්නේ නූතන වෙසක් උත්සවය, බෞද්ධයා සහ සමාජය පිලිබඳ කථිකාවතයි.



වර්තමානයේදී බෞද්ධයා බුදු තෙමගුල සැමරීම වස් විවිධ ආගමික වත්පිළිවෙත් වල යෙදීම සිදුවේ. සතියක පමණ කාලයක් පුරාවට මෙකී වත්පිළිවෙත් සිදු කෙරෙන අතර මානව දයාව, අවිහිංසාව ආදී ගුණාංගයන්ට මෙහිදී මුල්තැන හිමිවෙයි. ලෝකයේ ඇතැම් ආගමික උත්සවවලදී දහස් ගනණින් සතුන් මැරීම ආදිය සිදුවන මුත්  වෙසක් පුර පසළොස්වක දින හා එයට පසුදින සියලු මත්පැන් අලෙවිසැල්, සත්ව ඝාතක ස්ථාන හා මස්, මාලු වෙළද සැල් වසා තැබීමද රජයේ මැදිහත්වීමෙන් යුතුව සිදු කරනු ලබයි. එසේම දහම් නිදහස සංකේතවත් කරමින් බොහෝ බෞද්ධයෝ  මස් මාංශ අනුභවයෙන් වැළකී මසට ඇතිකරන සතුන් හා කූඩු කරමින් ඇතිකළ පක්ෂීන්ට නිදහස ලබා දීමත් සිදුකරති. බොහෝ විට වැඩිහිටි සහ මහලු උදවිය සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්ථානයන්හි ගත කිරීමට පෙළඹෙයි.ඔවුන් එමගින් නිහතමානි බව, අල්පේච්ඡතාවය සහ  සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලැබීමට අපේක්ෂා කරයි.මෙලෙස බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙන බෞද්ධ ජනයා විවිධ උත්සවද සංවිධානය කරන අතර සෑම නිවසකම පාහේ අලංකාරවූ වෙසක් පහන් කූඩු වලින්, වෛවර්ණ බල්බ වලින්,බකට් හා පොල්තෙල් පහන් වලින් අලෝකමත් කිරීම හා වර්ණවත් කිරීම සිදු කරති. මෙම ක්‍රියාකාරකම්වලදී කුඩා දරුවන්ගේ වැඩි සහභාගීත්වයක් දක්නට ලැබේ. නමුත්  ලොකු කුඩා සැවොම එක්වී විවිධාකාර හැඩයෙන් යුතු  වෙසක් කූඩු නිර්මාණය කිරීම සිරිතයි. මෙය ගෘහස්ථ පවුල් ඒකකයන් සහ සමාජය තුළ සමගිය සහයෝගීතාවය වර්ධනය වන අවස්ථාවකි. වෙසක් කූඩු තැනීමට අමතරව බෞද්ධ ජාතක කථා නිරූපණය කෙරෙන සුවිසල් තොරණ් නිර්මාණය, දන්සැල් සංවිධානය ආදී විවිධ දන් පින්කම් සිදු කිරීමට සැවොම එක්වී  සහයෝගයෙන් උනන්දු වෙති.

නමුත්  එදා මෙදා තුර වෙසක් උත්සවයේ මුහුණුවර සහ අභිප‍්‍රායන් මේ වන විට වෙනස් වී ඇති බව පෙනේ. සියල්ල වෙනස් වන ලෝකයේ නොවෙනස් වනඑකම දෙය වෙනස්වීම යන කියමන සදාතනික සත්‍යක් වුවද එසේ කියා හොඳ නරක සියල්ල  ඉදිරියේ අඳ ගොළු බිහිරන් සේ සිටීම නිවටකමකි. මන්ද අපගේ සංස්කෘතිකාංගයන් හැකි පමණින් හෝ රැකගෙන ඉදිරි පරම්පරාවලටද ඒවායේ වටිනාකම් උරුමකර දීම නූතන පරපුරෙහි යුතුකම මෙන්ම වගකීමක් ද වන බැවිනි.ඒ නිසා එහි ඇති ජාතික අනන්‍යතාවන් සේම බෞද්ධ හර පද්ධතිය මත පදනම්ව ගොඩනැගුණු විශ්ව අනන්‍යතාවන් ද එහි හරයන්ට පටහැනිව සිදු වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීම අප සැමගේ කාලීන වගකීමක් බව  සියලු දෙනා සිතට ගැනීම වැදගත්ය. මෙසේ බුදු දහම අප ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම නොපැකිලව කළ යුත්තේ මෙය අප අනුගමනය කරන දහම නිසාම නොව මේ ශ්‍රේෂ්ඨ දහම මිනිසා සතා සීපාවා ගහකොල පරිසරය මහපොළව ආදී සමස්ත ජීවි-අජීවි පද්ධතියේම යහපැවැත්ම පිළිගන්නා, ඒ යහපැවැත්ම තහවුරු කිරීමට අදාළ මගක් පෙන්වාදෙන දහමක් නිසා බැවිනි. එම මහඟු දහම් සිසිලස මිනිස් හද සන්තානයට පමණක් නොව වන සිවුපාවුන්ට, ගහකොළ ඇළදොල මෙන්ම ගංඟාවන්ටද සමසේ සංවේදී වන බවට සැකයක් නැත. සිදුහතුන් ගිහිගෙය හැර දා ගිය දවස කන්ථක අසු ලය පැලී මිය ගියේද, බුදුන් වහන්සේ වනගතව සිටිය දී මුචලින්ද නාගයා මෙන්ම පාරිල්‍යෙය ඇතා බොසතාණන් වෙත උපස්ථාන කළේද උන්වහන්සේගේ මහඟු ගුණ සාගරයේ විශිෂඨත්වය හේතුවෙනි. ලෝකය අද මුහුණ දී තිබෙන ආර්ථික සමාජ දේශපාලනික පාරිසරික ආදී සියලූ අර්බුද සමනය කිරීම සඳහා ශක්තිමත් මග පෙන්වීමක් කිරීමට බුදු දහම සමත් වී ඇත.

වෙසක් උත්සවය ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී පැවැත්විය යුත්තක් වුවද එහි කෙරෙන ආමිස කටයුතු ද බුදු දහම ප‍්‍රතික්‍ෂේප නොකරයි. නමුත් මෙකී ආමිස කටයුතු බුදු දහමේ හර පද්ධතියට එකඟව කළ යුතුය. එමනිසා වෙසක් උත්සවය කිසි විටකත් වාණිජ ලෝකයේ තවත් එක් අතකොලුවක් බවට පත් කර ගැන්මට ඉඩ තැබිය නොයුතුය.


වෙසක් සමයේ අලෝකකරණයට වැඩි ප‍්‍රමුඛත්වයක් ලැබෙයි. මෙලෙස තම නිවස හෝ ව්‍යාපාරික ස්ථානය විශේෂයෙන් ආලෝකවත් කරන්නේ ඇයිද යන්න විමසුවොත් එයට ලබා දිය හැකි ධර්මානුකූල පිළිතුර වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට ප‍්‍රඥාලෝකය දුන් දිනය නිසා එය සංකේතවත් කිරීම උදෙසා මෙවන් ආලෝක පූජාවන් සිදු කරන බවයි. නමුත් මෙහිදී විදුලි හෝ පහන් ආලෝකයට වඩා මිනිස් හදවත්වල ක්ලේෂයන්ගේ තිමිරපට බිඳිමින් ප‍්‍රඥාලෝකය දැල්වීම වැදගත් වන බව මාගේ මතයයි. පෙර සඳහන් කළ නිවසේ හෝ අසල්වාසී නිවෙස්වල සාමාජිකයින් එක්ව පහන් තූඩු නිර්මාණය කිරීමද දැන් සිදු නොකෙරෙන තරම්ය. එය කඬේ මුදලාලිට තවත් ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරයි. දෙමව්පියන් ඒවා මිලයට ගෙන  දෙන්නේ දරුවන්ගේ කරදරවලින් නිදහස් වීමටය. නමුත් පෙර තමා විඳි  සුන්දර ළමා විය තම දරුවන්ටද විඳින්නට සළස්වමින් නිවැසියන් එකතු වී එක් පහන් කූඩුවක් හෝ නිවසේදී සාදා ගන්නේ නම් එය අගනේය.

දන්සැල් යනු වෙසක් උත්සවයේ තවත් විශේෂ අංගයකි. දානය යනු බුදු දහමේ ඉගැන්වෙන ඉතාම ඉහළ මට්ටමේ ප‍්‍රතිපත්තියක් මෙන්ම පාරමිතාවකි. වර්තමානයේ පැවැත්වෙන බොහෝ දන්සැල් මේ මුඛ්‍ය පරමාර්ථය වන දන්දීම යන්නෙන් බැහැරව සමාජයටද මහත් හිරිහැරයක් වන මට්ටමට වැටී ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
පොදු යහපත වෙනුවෙන් දන්සැල් පැවැත්වීම අපේ පුරාණ සම්ප‍්‍රදායික ක්‍රමය විය. උදාහරණයක්  වශයෙන් පැරණි අනුරාධපුර නගරයේ පැවති මහාපාලි දාන ශාලාව හැම දිනකම පැවැත්වූවකි. මෙයින් මැති ඇමති සිටුවරු හෝ සාමාන්‍ය ජනතාව ආහාර නොගත්හ.දුගීන් මගීන් යාචකයින් හා නගරවාසී පැවිද්දන් සඳහා මෙය සූදානම් කර තිබුණි. එය සමාජයේ අවශ්‍යතාවකි.මෙලෙස දන්සැල් දියයුත්තේ තම පෞද්ගලික ධනයෙනි. නොඑසේනම් ස්වකැමැත්තෙන්ම වෙනත් අයෙක් ලබා දෙන ධනයෙනි. නමුත් අද බොහෝ දෙනෙක් දන්සැල් දෙන්නේ තම ධනයෙන් නොවේ. මේ සඳහා මුදල් බඩු ආදිය එකතු කරයි. ආධාර නොදුන් විට අපහාස කරයි. අවමන් කරයි. එවිට ලබා ගන්නා හා ලබා දෙන්නා යන දෙපාර්ශවයම මේ සඳහා දායක වන්නේ අපිරිසිදු සිතිනි. එවිට එය පිරිසිදු සිතින් දෙන දානයක් නොවනු ඇත. එසේම වෙසක් උත්සවයට කිසිදු සම්බන්ධතාවක් නැති වෙස් මුහුණු, ඔලූබක්කන් නැටවීම, අසෝභන ඇඳුම් ඇඳගෙන මාර්ග අවහිර වන සේ හැසිරීම ආදියද  මෙම උතුම් තෙමඟුලෙහි උත්තරීතර බව කෙලෙසන්නකි.

අති උතුම් වෙසක් සැමරීමත් සමග අප තරයේ සිතට ගත යුතු තවත් සුවිශේෂී කාරණයක් ඇත. වෙසක් සැමරුම් දෙදිනෙන් පසු නගරාශ්‍රිතව හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව කුණූ කඳු ගොඩනැගී තිබෙනු අප මෙතෙක් දුටු දසුනකි. එම පරිසර විරෝධී ක්‍රියාවන්ගේ අනිටු ප‍්‍රතිඵල ලෙස පසුගිය මාසයේදී රටේ අහිංසක පිරිසකට ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු විය. සිදු වූ ඛේදවාචකයෙන් පාඩමක් ඉගෙන මෙවර වෙසක් සැමරීමේදී පරිසරයට සතුන්ට ඉතා අහිතකර පොලිතීන් භාවිතයෙන් වළකින්නට අදිටන් කර ගනිමු.එසේම ගමන් බිමන්වලදී සහ වෙසක් සිරි නැරඹීමේදී ඔබගේ කුණු කසළ නියමිත පරිදි බැහැර කිරීමට වගබලා ගන්න. බුදුරජාණන් වහන්සේ යනු, ලොව පහළ වූ පරිසරහිතකාමී පුද්ගලයින් අතර ප‍්‍රමුඛතම තැනැත්තාය. එසේ නම් බෞද්ධයින් වන අප වෙසක් දිනයේ අප අතින් වන පරිසර හානි වැළැක්විය යුතු වන්නෙමු.

මේ ආකාරයට 2017 වසරේදී අප සමරන්නේ 2561 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. මෙවර සම්බුද්ධත්ව ජයන්තියේදී ශ්‍රී ලංකාවට බොහෝ සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ. එනම්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර බෞද්ධ උත්සවය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නිර්දේශ වී තිබීමයි. 2017 මැයි 12 සිට මැයි 14 දක්වා එම ජාත්‍යන්තර සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එහි ආරම්භක උත්සවය පැවැත්වෙන අතර අවසන් උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිතව ඇත. තායිලන්තය, මියන්මාරය, ලාඕසය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් ඇතුළු රටවල් 91ක නියෝජිතයන් මේ සඳහා ආරාධනා ලැබ ඇත.එහිදී බෞද්ධ සන්නිවේදකයන්ගේ සමුළුවක් ද පවත්වනු ලබයි. ''බෞද්ධ දර්ශනයේ සන්නිවේදනය තුළින් සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමය ගොඩනැංවීම'' එහි තේමාව ලෙස නම් කර ඇත.

ලෝකයේ බෞද්ධ රටවල් ලංකාවේදී ප්‍රථම වරට ඒකරාශි වුයේ  1950 අප්‍රේල් 26 සිට මැයි 2 දක්වා දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා මහනුවරදී ලෝක බෞද්ධ මහා සම්මේලනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ අවස්ථාවේදීය. එයින් අවුරුදු 67ක ඇවෑමෙන් ලෝකයේ බෞද්ධ රටවල් ලංකාවේදී ඒකරාශී වන්නේ මෙම වසරේදී ය. මෙවර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ පළමු වතාවට වුවත් මීට පෙර තායිලන්තයේ 11 වරක්, වියට්නාමයේ 2 වරක් පවත්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයයි.

බෞද්ධ රටක් ලෙස මෙය ලොවට විශාල පණිවුඩයක්  ලබා දිය හැකි අවස්ථාවක් ලෙස හඳුනාගැනීම ඉතාමත් වැදගත් වේ. මෙයට සමගාමීව ශ්‍රී ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එ්මද සිදු වෙයි. එහිදී උපාය මාර්ගික වශයෙන්ද  මෙවන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් රටකට ඉතාමත් වැදගත් වනු ඇත. රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම පමණක් නොව එය අපේ රටේ ආර්ථික, සංචාරක, ව්‍යාපාරය, ක්‍රීඩා ආදී ක්‍ෂේත්‍රයන්හි උන්නතිය සඳහාද යොදාගත හැකිය. මන්ද මේ හරහා ලොව බෞද්ධ රටවල් ඇතුලු බහුතරයක් රටවල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවන බැවිනි.නමුත් එම අවස්ථාව වැදගත් ලෙස උපායශීලීව යොදා ගැනීමට අදාල බලධාරීන් කටයතු නොකළහොත් මෙය රටටවත්,රටේ සම්බුද්ධ ශාසනයටවත් ඵල රහිත වන බව මෙහිදී කිව යුතුමය. 


බුදුන්  වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටු  සේක. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත්, සියලු පවතින දේවල් නැසෙන සුලු බවත්, බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත්, මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදු හිමියන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. තව දුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින් සුවඳින් පහනෙන් පමණක් නොව තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය.කෙනෙකු උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත්, ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් අප මහා සම්බුදු පියාණන් වහන්සේට කරන පුද සත්කාරයන්ට සමාන වබ බව මෙහිදී උන් වහන්සේ ලබා දුන් අවසන් පණිවිඩයයි.

කෙසේ වුවද අවසානයේ  වෙසක් මහා තෙමඟුල් දිනයේ දී කළ කී දෑ සියල්ලෙන් විය යුත්තේ අපේ සිත් නිවී සැනහී ශාන්ත කර ගැනීමයි. සසර දුකින් මිදී ලොවුතුරු සැපත පැතීමයි. විනෝද චාරිකා ආදිය ගොස් සතුටු වීමට ප‍්‍රීතිඝෝෂා නැගීමට පමණක් උතුම් වෙසඟ සීමා කරගත යුතු නැත. දුසිරිතින් මිදී තුන් ලොව පුරා උතුම් සම්බුදු දහම රැගෙන යාමට වදනකින් හෝ දායක වන්නේනම් බෞද්ධ අපගේ වෙසක් සැමරීම එයම වන්නේය.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...