Wednesday, June 14, 2017

නිදහස සිත් සේ විඳින්න අපූරු තෝතැන්නක්...



නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට අපි හැමෝම කැමතියි මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් නිදහසේ ඉන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්. ඒක ගතට වගේම සිතටත් සුවයක්. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය සඳහා ඔසුවක්. එහෙම පුරුද්දක් තියෙන අයට යන්න අපූරු තැනක් කොළඹට ආසන්නයේම දැන් විවෘත වෙලා තිබෙනවා. ඒ තමයි සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ. ඉතිං ඔබට මේ කර්කෂ සමාජ වටපිටාවේ ඉන්න ඔබට ඒ ඒකාකරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් නිදහසේ සැනසීමේ ඉන්න තැනක් ගැන ඔබට තොරතුරු ගෙන එක මටත් පිනක් කියලා හිතලා මේ උද්‍යානයේ විස්තර ටිකක් ඔබට සැළ කරන්නම්. විැශ්ෂයෙන් කොළඹ අවට උදය වරුවේ කාර්යාලයේ වායු සමනය යටට වී සිටින, රාත්‍රියේදී නිවසේ කොන්ක්‍රීට් වනාන්තරවලට වී එහි පහස ලබන ඔබට මෙය කදිම පණිවිඩයක් වේවි.


බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මෙම සීතාවක උද්භිද උද්‍යානය දැනට වසර දෙකකට පමණ ඉහතදී  විවෘත වූවක්. මේ නිසා මේ ගැන බහුතරයක් දෙනා නොදැනුවත්. පරිසරයේ සුන්දරත්වය විඳින්න ,මල් බලන්න, සොබා සිරි නරඹන්න අපි නුවරඑළියට හග්ගල‍ට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනි. ඒත් දැන් අපිට පුංචි විකල්ප ස්ථානයක් තියෙනවා. හග්ගල, පේරාදෙනිය තරමටම නැතිවුවත් ටිකක් හරි ඒ හා සමාන. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මෙය සැළකිය හැකියි.

ශ්‍රී ලංකාවේ පළමුවැනි උද්භිද උද්‍යානය වන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයයි. එය 1821 වසරේදී ආරම්භ විය. දෙවැන්න වන්නේ හග්ගල පිහිටි උද්භිද උද්‍යානයයි. එය 1861 වසරේදී ඇරැඹී ඇත. තෙවැන්න වන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. එය 1876 වර්ෂයේ දී ආරම්භ කර තිබේ. මිරිජ්ජවිල පිහිටි සිව්වැනි උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ දී ය. ඒ අනුව 2015 වසරේ මාර්තු 25 වැනි දින ඇරැඹූ සීතාවක පිහිටි තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.


මෙලෙස ශ්‍රී ලංකාවේ පස්වැනි උද්භිද උද්‍යානය ලෙස ඉතිහාසයට එක්වූ සීතාවක උද්භිද උද්‍යානය , පිවිසුම් දොරටුවේ සිටම මවන්නේ අපූර්ව චමත්කාරයකි. පසෙකින් පස්පියුමින් සුසැදි විලකි. හිරු කිරණ වැදී බැබළෙන නිල්වන් දිය දහර ,විචිත්‍රවත් ය. රොන් බී මත්වූ බිඟුන්ගේ නද විල් තෙර පුරා සිසාරා යයි. බිම් ඇතිරුම් ගල්වලින් අලංකෘත වු උද්‍යානයට පිවිසීමට ඇති මාවත, මුළු උද්‍යානයටම අපූර්ව සුන්දරත්වයක් එක්කරමින් සිටී. ඈතින් පෙනෙන නිල්ල පිරි ගහකොළ, ස්වභාදම් මෑණියගේ අපූර්ව දායාදයක් බඳු ය. ගත සිත ප්‍රබෝධවත් කරමින් හමාඑන මදනළ, අව් රශ්මිය මදක් අවම කිරීමට සමත්ය.


උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.


උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකිය.


ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වෙලා තියෙනවා.  මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ. පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසා තිබීම සුවිශේෂීත්වයක්. එබැවින් මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් සේ සැළකිය නොහැක. එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයලා තිබේ.

මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.


උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගන්නවා . පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාල වර්ග‍යේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් සේ සැළකිය හැක. මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.



අලුතින් ම ඉදි වූ උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවී නොමැති වීම දුර්වලතාවයක් සේ සැළකිය හැකිය. කෙසේ වුවද අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පුළුවන.



උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වන තෙක් නිකුත් කරයි.

036-379-5295 යන දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

3 comments:

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...