Friday, June 30, 2017

අංගම්පොර සටන් කලාව





සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාවක් ලෙස සළකනු ලබන මෙය බෞද්ධ ආභාෂය ලද පුරාණ ශිල්පයක් සේ සැලකෙයි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණයන් අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ, පිනුම් ක්‍රම ආදිය සුවිශේෂී වේ. මෙහි විශේෂත්වය වන්නේ අංගම්පොර සටන් කලාව පුරුෂයින් මෙන්ම ස්ත්‍රී පාර්ශවයට ද පොදු වූ සටන් කලාවක් වීමයි.මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන්  ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නැමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින් ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන්නන් උඩු කය නිරුවත්ව එහි නිරත වීම සම්ප්‍රදාය වන අතර ස්ත්‍රීන් පමණක් සාම්ප්‍රදායික හැට්ටයෙන් සැරසෙන අතර යටි කය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොටු සුදු සරමක්ද හඳිති.


මෙම සටන් කලාවේ යෙදීම ඉතාමත් පූජනීය ලෙස සළකනු ලබන අතර එය පුහුණු වන්නට පැමි‍ණෙන්නන්ගේ හඳහන පරීක්ෂා කර බලා එහි ග්‍රහ පිහිටීම්වලට අනුව අදාල පුද්ගලයා සටන් කලාවේ යෙදීමට සුදුසුද නැද්ද යන්න තීරණය කරනු ලබයි. එසේම ඔවුන් පිරිසිදු බෞද්ධයෙකු වීමද අනිවාර්ය අංගයක් සේ සළකනු ලැබේ. ප්‍රථමයෙන් පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජාකොට ඉගෙනුම අරඹන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ ඉතා  දැඩිවූත්, රළුවූත් පුහුණු අභ්‍යාස වල නිරත වෙති. පුහුණුවීම්වලට හෙළවෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද අඩංගු වේ.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණ කරන ලද අයෙක් විය යුතුය.එම ආධ්‍යාත්මික ශක්තිය ඔහු ලබා ගත යුත්තේ  බුදු දහම තුලින්ය. සැබවින්ම අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගත වෙයි. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරත වෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩ විසි කර දෙපළු වන්නට පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ලෙලි ගැසීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම  ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහා පෑමට සිදුකරනු ලබයි.


මෙම ශාස්ත්‍රය කෙතරම් තියුණු තාක්ෂණයක් දැයි පැවසුවහොත් සම්පුර්ණ අංගම් සටන් කලාව ඉගෙන ගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවත කාලය  මදි බව අප එහි නියැලෙනන්නන් පවසා ඇත. මෙහිදී ඉතා වැදගත් වන්නේ නිල ශාස්ත්‍රමය දැනුම නිවැරදිව ඉගෙනීමයි. අංගම්පොර  සටන් ක්‍රම තුල නිල වලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය. ක්ෂණිකව මරණයට පත්වන සේ  නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිල ස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්‍රතිවාදියා ගොළු වන සේ එසේත් නැත්නම් බිහිරි වන සේ පහරදීම, සිහි නැතිවන්නට නිල වලට පහර එල්ල කිරීම හා මළමුත්‍රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්‍රය වැනි දියුණු සටන් ක්‍රම හැදෑරීමේදී එය විදේශීය ආක්‍රමණවලදී හැර තම පෞද්ගලික ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන විට අදාල ශිල්පියා දිවුරා පොරොන්දු විය යුතුය.

අතීතයේ රාජ්‍ය හමුදාවන්ට ද මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. "අංගම් හරඹ" යනු අංගම්පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. එම අංගම් මඩු අංශ දෙකකින් යුක්ත විය. එනම් හරඔ ශාලාව හා ඉල්ලම් මඩුවයි. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉල්ලම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. මොවුන් පෙරහැරවලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධපිටිවලදී අවශ්‍යය අවස්ථාවන්ට උචිත වන ලෙස එම හැකියාවන් යොදා ගැනුණි. අතීත රාජ්‍ය යුගයන්හීදී යෝධයා යනුවෙන් හැඳින්වූ රණ ශූරයන් මෙම අංගම් කලාවේ කෙළ පැමිණියන් ලෙස සැළකේ. පසුව මෙම රණශූරයන්  "පනික්කිරාළ " ලෙස ද හැඳින්වුණි. මෙම නාමය අග්‍ර ගණයේ වික්‍රමාන්විත රණ ශූරයෙකු හැඳින්වීමට භාවිතා කරන අතර  අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස්ම තනතුරක් ද වෙයි. අංගම්පොර සටන් කලාව සඳහා භාවිතා කරන සුවිශේෂී  මූලික අවි ආයුධ 21ක් ඇත. 


ජන වහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන් ද ඔබ්බට වසර 33,000කින් එහා ඉතිහාසයකට විහිදෙයි. ඵෙතිහාසික මූලාශ්‍රයන්ට අනුව  සුර - අසුර, රාම - රාවණා ආදී යුද්ධවලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අංගම්පොර සටන් කලාවෙහි ස්වර්ණමය යුගය ලෙසද මෙම යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය  ග්‍රන්ථ තුලින් ද පැහැදිලි වෙයි. රාවණා රජු  සහ අංගම් කලාව අතර සම්බන්ධය කෙතරම් ප්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස්කොට රාවණා ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට පවා උපරිමයෙන් දායක වී ඇත.


අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද එම ප්‍රදේශයටම  සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක්කරන විට එය  මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසීන් අතට යටත් කරගත් පසු ඔවුන්  අංගම් කලාව ඉතා පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්වූ අතර එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට පවා අණ කෙරිණි. එනමුත් එයින් පසුගාමී නොවූ හෙළ සිංහලයන්  මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකදීම රහසින් පුහුණු වන්නට විය. එ් අනුව මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත්විය. එපමණක් නොව, මෙහි ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සටන් කලාවෙහි පැවති  යම් යම් කොටස් නර්තනය තුළටද බද්ධකොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට සාක්ෂි අදටත් සමහර නර්තනාංග තුළ දක්නට ලැබේ. ඒ අනුව වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම ආදී සංස්කෘතිකාංගයන්යහි ඒවා දැකගත හැකිය.

ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය යටගියා වූ ශිල්පය පිළිබඳව පිබිදීමකට ලක්  විය. මේ නිසාම වත්මන් සමාජයේ ඇතැම් පිරිස් මෙම සටන් කලාව පිලිබඳ ඉගෙන ගැනීමට උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. නමුත් අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පයෙහි යෙදුනු ශිල්පීන් හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්පත්වල සාක්ෂි මඟින් අදටත් සඵත වේ.  


මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න








No comments:

Post a Comment

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...