Tuesday, September 26, 2017

මියන්මාරයේ රෝහින්ග්‍යා ගැටුම් සහ ශ්‍රී ලංකාව





ශ්‍රී ලංකාව වසර 30ක පමණ කාලයක් කුරුරි ත්‍රස්තවාදයෙන් බැට කෑ කුඩා දිවයිනකි. සුවහසක් ලාංකික ජනතාවගේ වාසනාවකට එම රුදුරු යුද්ධයේ වියරු ගිණිදැල් මෙි වන විට නිවී ගොස් තිබුණද එහි අඳුරු මතක තවමත් ජන හදවත් තුළ නොමැකී සටහන්ව ඇත. වසර ගණනාවක සිට ලංකාව සමඟ විවිධ අංශයන්ගෙන් සබඳතා පවත්වන මියන්මාරයේද මෙවන් බිහිසුණු යුද්ධයක ඡායාවන් මතුව එන බව විවිධ මාධයන් මඟින් ගෙන එනු ලබන පුවත් මඟින් වාර්තා වෙයි. සියවස් 3කට ආසන්න කාලයක් යුධ මානසිකත්වයකින් ජීවත් වූ ලාංකික අපට මෙම සිද්ධීන් ඉතා සංවේදීව හදවතට දැනෙනු ඇත. විවිධ පුද්ගලයන් විවිධාකාර කෝණයන්ගෙන් මේ දෙස බලා අභිමත අදහස් දක්වනු පෙනේ.

මියන්මාරය යනු, කලාප කිහිපයකින් එක්ව නිර්මාණය වූ රටකි.  තායිලන්තය, චීනය, ඉන්දියාව ආදී ප්‍රබල රටවල් කිහිපයක දේශ සීමාවන්ට ආසන්නයෙන් පිහිටා ඇති මියන්මාර රාජ්‍යය ලොව පිහිටා ඇති සම්පත් ආකරයක් ලෙස හඳුනාගත හැකිය. රත්‍රං, තෙල්, ගල් අඟුරු ආදී ස්වභාවික සම්පත් රාශියකින් පොහොසත් මෙය කලෙක  මුලු ලොවටම සහල් ලබාදුන් ධාන්‍යාගාරයක් ද විය. තවත් වතාවකදී බුරුම තේක්ක මුලු ලොවම මවිතයට පත් කළේය. ශ්‍රී ලංකාව මෙන් 6 ගුණයක් විශාල මියන්මාරයට ඒ සමඟ ඓතිහාසික සබඳකම් රාශියක් පවතින බව හඳුනාගත හැකිය. එහිදී සුවිශේෂීම සිද්ධිය වන්නේ ථේරවාදී බුදු දහම ලක්දිවට ගෙන එන ලද්දේ මියන්මාර රාජ්‍යයෙන් වීමයි. එනම් වත්මන් ශ්‍රී ලංකාව තුළ පවතින අමරපුර සහ රාමඤ්ඤ යව ද්විත්ව නිකායන්ම අප රට තුළ නැවත ස්ථාපිත වූයේ මියන්මාර ථේරවාදී බුදු රහමේ ආභාෂයෙනි. එපමණක් නොව අදටත් මෙම ථේරවාදී බුදු දහම සම්බන්ධව මෙන්ම වෙනත් සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රාශියක්ම මියන්මාරය සහ ලංකාව අතර පවතියි.

එසේම ශ්‍රී ලංකාව සහ මියන්මාරය සමකාලීනව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබූ රටවල් දෙකක් ලෙස ද සැළකේ. මුල් කාලීනව මෙය නිර්මාණය වූයේ ප්‍රාන්ත බොහෝමයක ඒකරාශීත්වයෙන් වූ බැවින් ඒ ඒ ප්‍රාන්තවලට වෙන් වූ ප්‍රාදේශීය නායකයින් විසින් පාලන කටයුතු මෙහෙයවන ලදී. අවසානයේ එම ප්‍රාදේශීය පාලකයන්ම කතිකාකොට ෆෙඩරල් ක්‍රමක් යටතේ සියලුදෙනා එක්ව ඒකීය රාජ්‍යක් ලෙස රට පාලනය කිරීමට තීරණය කරන ලදී. මියන්මාරයෙහි වෙසෙන බහුතරයක් වැසියන් ථේරවාදී බෞද්ධයින් වන අතර ඔවුන් ඉතා දැඩි ලෙස සිය ආගමික ප්‍රතිපත්තීන්ට අනුකූලව සිය එදිනෙදා ජීවිතය‍ ගෙවා දමන පිරිසක් ලෙස හඳුනාගත හැකිය.

මියන්මාරය වසර 50ක් එක දිගට හමුදා පාලනයක් යටෙත් පාලන කටයුතු සිදු වූ රටකි. එකී හමුදා පාලනය කෙතරම් දරුණුවීද යත් එහි විශ්ව විද්‍යාල පවා වසා දමමින් සියලු වෘත්තීය සමිති සමාගම් පමණක් නොව  මහජනයා ඒකරාශී වන සියලුම අවස්ථා තහනම් කර දැමීය. කාලයාගේ ඇවෑමෙන්  2007 වසරේදී මියන්මාරයෙහි බලයට පත්වූ ජනාධිපතිවරයා මෙම ‍ජෙනරල් ප්‍රාන්ත පාලන රටාව ක්‍රමයෙන් සිවිල් පාලනයකට පරිවර්තනය කරන්නට විය. අවසානයේ 2010 වසරේදී මියන්මාරයේ සර්වජන ඡන්ද ක්‍රමයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරන්නට තීරණය කළ අතර මෙතෙක් රටේ පාලනය ගෙනගිය හමුදාව සිය නිළ ඇඳුම් ඉවත් කර පාලනයෙන් ඉවත් වී එකී හමුදාව නියෝජනය වන පරිදි  USDB නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් දේශපානයට අවතීර්ණ විය. එම මැතිවරණයෙන්  USDB පක්ෂය ජයග්‍රහණය කළ අතර ඔවුන් 2015 වන තෙක් පාලන කටයුතු සිදු කළහ.

එම කාලවකවානුව තුළ ආණ්ඩුව අතිශය දරුණු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට වූ අතර  අනෙක් අතට මැලේසියාව, සිංගප්පූරුව වැනි අග්නිදිග ආසියාවේ සුපිරි බලවතුන් වන රටවල් පවා බිය ගන්වන සුලු යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් ද දියත් කළේය. එහිදී මියන්මාරයෙහි ඉදිවූ සුවිසල් බිංගෙවල් ආදිය ඉතාමත් සූක්ෂම ලෙස මෙන්ම ඇදහිය නොහැකි තරම් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ඉදි කරන ලදහ. එය ‍කෙතරම් සංකීර්ණ ‍සහ උපායශීලී ලෙස ඉදි කළේද යත් එම බිංගෙවල් තුළ හමුදා නායකයින්ට ආහාරපාන සහ නවාතැන් ඇතුලු සියලු පහසුකම් සහිතව මාස 6ක් ඉතා ආරක්ෂිත ලෙස රැඳී සිටීමට හැකිවන පරිදි සියලු පහසුකම්වලින් යුක්තව අංගසම්පූර්ණ  ලෙස ගොඩ නංවා ඇත. 2010දී  බලයට පත්ව පාලනය ගෙනගිය මෙම මිලිටරි ආණ්ඩුව එවක සිටි ත්‍රස්ත සංවිධාන 21කට සාම ගිවිසුම් සඳහා එළඹීමට සඳහා ආරාධනා කර සිටියේය. එම අවස්ථාවේදී එයින් ත්‍රස්ත කණ්ඩ‍ායම් 8ක් ගිවිසුම් අත්සන් කිරීමට කැමැත්ත පළ කළ අතර කණ්ඩායම් 10ක් සාම සාකච්ඡා පැවැත්වීම සඳහාද  එකඟ වූ නමුත් ත්‍රස්ත කණ්ඩායම් 3ක් පමණක් මෙම යෝජනාවට ප්‍රතික්ෂේප කළහ.

මියන්මාරයේ මෙම හමුදා පාලනයේ  ධූර කාලය අවසන් වූ පසු 2015 අවසන් භාගයේ පැවති මැතිවරණයට තරඟ වැදුනේ නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන්සාන් සූචි නායකත්වය දැරූ පක්ෂය  සහ පෙර පාලනය ගෙනගිය  USDB පක්ෂයයි. එහිදී 95%ත් ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයකින් යුක්තව අවුන්සාන් සූචි මහත්මියට අතිශය ප්‍රබල ජයග්‍රහණයක් හිමිවිය.  නමුත් පෙරදී සම්මත වී තිබූ නීතියකට අනුව වෙනත් ජාතිකයෙකු සමඟ විවාහ වූවෙකුට මියන්මාරයේ ජනපති ධූරය  හෙබවිය  නොහැකි වන නිසා ඇය විදේශ අම‍ාත්‍ය ධුරය භාර ගනිමින් බලයේ සිටින්නට විය. අනෙක් අතට 2008දී සම්මත වූ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 25%ක් නියෝජනයක් හමුදාවෙන් තිබිය යුතු වූ බැවින් පරාජයට පත් වූ  USDB පක්ෂයටද පාර්ලිමේන්තුවේ 25%ක බලයක් හිමි විය. එපමණක් නොව මියන්මාර ආර්ථිකයේ ද 70%ක පමණ පාලනය හමුදාව සතු වන බැවින් ආර්ථික, දේශපාලනික ආදී  සියලු අංශයන්ගෙන් ඔවුහු තව තවත් ශක්තිමත් වන්නට විය.

කෙසේ වුවද වර්තමානයේදී මියන්මාරය මුළු මහත් ලෝකයේම අවධානයට ලක්ව ඇත්තේ මේ දිනවල එහි උග්‍ර ලෙස පැතිරී යන යුධ තත්වය හේතුවෙනි. එහිදී රෝහින්ග්‍යා නම් මුස්ලිම් ජනතාව මෙසේ කැරලි ගසමින් ආයුධ සන්නද්ධව ගැටුම්වලට අවතීර්ණ වී ඇති බැව් විදෙස් මාධ්‍ය මගින් දක්වයි. මාධ්‍ය තුළදී මොවුන් එම නාමයෙන් හඳුන්වනු ලැබූව ද මියන්මාරය තුළ  රෝහින්ග්‍යා යන වචනය භාවිතා කිරීම පවා සපුරාම තහනම් කර ඇත. මේ නිසාම මෙම මියන්මාරයෙහි වෙසෙන රෝහින්ග්‍යාවරුන්ට අනන්‍යතා නාම දෙකක් පවතියි. එනම් ඔවුන්ගේ උපත් මුස්ලිම් නාමය සහ මියන්මාර් නාමයයි. මෙහිදී ඔවුන්ගේ මියන්මාර් නාමය නිර්මාණය වන්නේ පාලි ශබ්ධ අරුත් ගැන්වෙන ලෙසයි. එසේ මියන්මාර වැසියන් බෞද්ධ දර්ශනය කෙතරම් නම් සිය ජීවිතයට සමීප කර සිටින්නේද යන්න මනාව වැටහේ. මෙම ඇතැම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ පුරවැසිභාවය තුන්වරකදී වෙනස්කම්වලට භාජණය වී ඇත. එනම් මුල් කාලීනව ඉන්දියානු පුරවැසියන් වූ ඔවුහු  ඉන්දියානු රාජ්‍ය දෙකඩ වී ඉන්දියාව සහ පාකිස්ථානය ලෙස අනන්‍යතායන් ඇති කර ගැනීමේදී දෙවැනිවරට පාකිස්ථානුවන් ලෙස පුරවැසිභාවය ලැබූහ. අනතුරුව පාකිස්ථානය නැවත වරක් දෙකඩ වී වෙනමම බංගලාදේශය නමින් නැගී සිටීමේදී තෙවන වරටත් ඔවුන් බෙංගාලි වැසියන් ලෙසින් පුරවැසිභාවය ලබා ගන්නට වූහ. මෙලෙස බංගලාදේශයෙන් සංක්‍රමණය වූ මෙම බෙංගාලි වැසියන් රෝහින්ග්‍යාවරුන් ලෙසින් හඳුන්වනු ලබයි.

අළු යට සැඟවූ ගිණි මෙන් විටින් විට ඇවිලී සැඟවී ගිය ලොව දීර්ඝතම යුද්ධය ලෙස සැළකෙන මියන්මාර ගැටුම විසඳුමක් නොමැති තත්වයට අද වන විට පත්ව ඇත්තේ එරට බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් හේතුවෙනි. අනාගතයෙදී ඇතිවන මෙම මහා ව්‍යසනය පෙරදී සිට දැක එයට විකල්ප යෙදුවේ නම් මෙවන් ජීවිත හා දේපල සංහාරයක් සිදු වන්නටද අවකාශයක් නොවන්නට ඉඩ තිබුණි. පසුගිය වසරේදී ද මෙම ජන කණ්ඩායම් අතර කලින් කල ගැටුම් ඇති වූ අතර රෝහින්ග්‍යා සන්නද්ධ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව මේ වන විට  ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. මෙහි මූල බීජය වී ඇත්තේ රෝහින්ග්‍යා වැසියන්ට එරට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කරන මියන්මාර ආණ්ඩුව විසින් ඔවුන්  බංගලාදේශයෙන් පැමිණි සංක්‍රමණික ජන කොට්ඨාසයක් ලෙස සලකනු ලැබීමයි.  නිළ රාජ්‍ය භාෂා 132ක් පවතින මියන්මාරයෙහි එම භාෂා අතරට රෝහින්ග්‍යා භාෂාව එකතු නොකරන්නට තරමටම මියන්මාර්වරුන් රෝහින්ග්‍යා විරෝධී ජාතියක් බවට පත්ව ඇත. එම තත්වය මත සිය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින බව පවසන රෝහින්ග්‍යා මුස්ලිම් කැරලිකරුවන් පසුගිය අගෝස්තු 25 වෙනිදා රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොළවල් වෙත  ප්‍රහාරයෙන් එල්ල කර 12 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියෙන් මෙම  ගැටුම මේ සා යුද්ධයක් බවට පර්වර්තනය විය. එය ඔවුන් විසින් මේ දක්වා එල්ල කරන ලද විශාලතම ප්‍රහාරයයි.

මේ වන විට මෙම යුද්ධය බෞද්ධ ඉස්ලාම් ගැටුමක ස්වභාවයෙන් පැතිරී යන්නේ මියන්මාරයේ බහුතරයක් දැඩි අන්තවාදී බෞද්ධයන් වීම නිසාවෙනි. එක් අතකින් බහුතර බෞද්ධයින් වෙසෙන රටක් වන මියන්මාරයෙහි රෝහින්ග්‍යාවරුන් යනු මියන්මාරයට පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ  මුස්ලිම් ජන කණ්ඩායමක සාමාජිකයින් වන බැවින් මෙය බෞද්ධ මුස්ලිම් ගැටුමක මුහුණුවරක් ගැනීමේද  එක් අතකින් යම් සාධාරණත්වයක් ඇත. නමුත් මෙහි මූල බීජය වන්නේ මියන්මාර රජය විසින් රෝහින්ග්‍යාවරු එරට වැසියන් ලෙස නොපිළිගැනීම සහ ඔවුන්ට පුරවැසිභාවය ලබා නොදීමයි. ඔවුන්ගේ මෙම සටනේ මූලික පරමාර්ථය වූයේ මෙතෙක් ඔවුන් නොලද එකී පුරවැසිභාය ලබා ගනිමින් සිය අනන්‍යතාවය රට තුළ සහතික කර ගැනීම වන නමුදු එය දැන් වෙනත් සාධකද මුල්වී තව තවත් සංකීර්ණත්වයට පත්ව ඇත. 

මියන්මාරයේ 2020දී නැවත මැතිවරණයක් පැවැත්වීමට නියමිත වන අතර මෙම මියන්මාරයේ ගැටුමද ඒ හා සම්බ්න්ධ පාර්ශවයන්ගේ උසිගැන්වීම් තුළින් ඉතා ප්‍රබල ලෙස වර්ධනය වී මේ වන විට ඉතා දරුණු තත්වයකට පත්ව ඇත. එනම් අවුන්සාන් සූචි බලයට පත්වූයේ මියන්මාරයේ වෙසෙන සුළුතර ජන කොට්ඨාෂයන්ගේ මනාපයෙන් වන බැවින් එසේ ඡන්දය ලබා දුන් ඡන්ද දායකයන්ට අවුන්සාන් සුකී තමා වෙනුවෙන් සාධාරණයක් ඉටු නොකළ බවට ඒත්තු ගැන්වීම මෙම පාර්ශවයන්හි අරමුණ බවට පත් වී ඇත. මේ ආකාරයට අවුන්සාන් සූචි කෙරෙහි දේශීය මෙන්ම අන්තර්ජාතිකවද අප්‍රසාදයක් ජනිත කරවමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අභිලාශයෙන් යුතුව වරින් වර ඇති වී සමනය වී ගිය මෙම යුධ තත්වය ඉතා දරුණු ලෙස වර්ධනය කරන්නට මෙම අන්තවාදී දේශපාලන සහ ආගමික කල්ලි සූක්ෂම ලෙස කටයුතු කර ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස රෝහින්ග්‍යා   ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත්වීම පිළිබඳව මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය පසුගියදා එරට නිල නොවන නායිකා අවුන් සාන් සුචී දෝෂදර්ශනයට පවා ලක් කළාය.

නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ මියන්මාරයෙහි උත්ගතව ඇති මෙම තත්වය හුදෙක් බෞද්ධ හෝ මුස්ලිම් ජාතීන් අතර පවත්නා ගැටුමක් නොව රෝහින්ග්‍යාවරුන් හෙවත් බෙංගාලි ජාතිකයන් මියන්මාර් රාජ්‍ය තුළ සිය අනන්‍යතාවය ලබා ගැනිම හෙවත් පුරවැසිභාවය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීම තුළින් ඇති වූ  අර්බුදයක් නිසා හටගත් තත්වයක් බව හඳුනාගත ගැනීමයි. එසේ නොවුවහොත් අනෙකුත් බෞද්ධ රටවලටද මෙහි යම් යම් මූල බීජ පැතිරී යමින් ලොව පුරා මහා ජාතිවාදී ව්‍යසනයන් ඇති වීමට මෙය හේතු වීමට ද ඉඩකඩ ඇත.

අනෙක් අතට මියන්මාරයෙහි වසර ගණනාවක් ජීවත් වුවද එරට බලධරයින් විසින් පුරවැසිභාවය ලබා  නොදුන් මුස්ලිම්වරුන් යුද්ධයට මුවාවෙන් මියන්මාරයට සමගාමී බෞද්ධ රටක් වන ලංකාවට සංක්‍රමණය වීමද ඒ සඳහා ලාංකික රජයෙන් අවසර ලබා දීමද ලාංකික බෞද්ධයින්ට අනාගතයේ ඇති වන්නට යන යම් අභියෝගයක පෙර දැක්මක් වන්නවට ද ඉඩ ඇත. මෙය ආගම්වාදයක් නොවේ. නමුත් බහුතර බෞද්ධයින් ජීවත් වන රටක් වශයෙන් අතීත වර්තමාන ප්‍රස්තූතයන් සැලකිල්ලට ගනිමින් අනාගතය දෙස විමසුම් බුද්ධියෙන් බැලීමේදී මේ සිද්ධීන් පිළිබඳව අවදියෙන් සිටීම නුවණට හුරු බව සිහිපත් කල යුතුමය.

**මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න**

2 comments:

  1. ගොඩක් දේවල් දැනගත්තා ...තව තවත් ලියන්න

    ReplyDelete
  2. ස්තූතියි හාමුදුරුවනේ...

    ReplyDelete

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...