Thursday, June 1, 2017

පරිසර සතිය කියා දුන් පාඩම



ලෝක පරිසර දිනය යෙදී තිබෙන්නේ ජුනි 05වන දිනටය. ඒ වෙනුවෙන් මැයි මස 29 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා ලංකාවේ පරිසර සතිය නම් කර තිබුණි. මෙම සතිය තුළදී මුලු මහත් පරිසරයම එක්ව අපට මනා පණිවිඩයක් මෙන්ම මෙතක් පරිසරට කළ නොමනා ක්‍රියාකාරකම් උදෙසා අපූරු දඬුවමක් ද ලබා දුන්නේය. ප්‍රශ්ණය ඇත්තේ මුළු මහත් රටක්ම හෝ ලෝකයක්ම එක්ව කරන්නා වූ වරදකට අහිංසක මිනිසුන්ගේ සහ හයක් හතරක් නොදන්නා කිරි දරුවන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු වීමය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උද්ගත වූ ගංවතුර හා නාය නෑම් මේ වන විට අප මාතෘ භූමියේ 200කට අධික ප්‍රමාණයකගේ ජීවිත බිලි ගනිමින්, තවත් සිය ගණනකට අධික ප්‍රමාණයක් අතුරුදහන් කරමින්, ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයකට පමණ උන්හිටි තැන් අහිමි කරමින් අනාථභාවයට පත්කර හමාරය.
රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල වැසියන් මෙයින් වඩාත් පීඩාවට පත් වූ අතර කළුතර දිස්ත්‍රික්කයට මෙවන් තත්වයක් උදාවූයේ වසර හතලිහකට පමණ පසුවය. මෙය අන්තර්ජාතික මාධ්‍යවල පවා මුල් පුවතක් බවට පත්ව තිබිණි. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වන අවපීඩන තත්වයෙන් මෝසම් වැසි සක්‍රීය වීමත් සමග මෙවැනි දරුණු කාලගුණික විපර්යාස ඇති වීම සාමාන්‍ය වුවද එහි ආරම්භයේදීම මෙවැනි තත්වයක් උද්ගත වීම සැලකිය යුතු කරුණකි.

සුවහසක් පෙම්වතුන් අහසට පෙම් බැන්ඳ ද, දහසක් කවීහු අහස ගැන කවි ගී වැල් ලියූවද සිය ගණනක් වන මිනිසත්  අපගේ ජීවිත අහිමි කරන්නට තරම් අහස රුදුරු වූ බව දැන් සැබෑවකි. මෙය අප රටට පමණක් ස්වභාදම් මෑණියන් විසින් දුන් දඬුවමක් නොවේ.  පසුගිය කාලයේ ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රදේශය ගංවතුරින් යටවිණි. පැය 24ක් තුළ මිලිලීටර් 300ක පමණ වර්ෂාපතනයක් එහිදී වාර්තා වී ඇත. මධ්‍යම යුරෝපයේ ද අධික වැසි හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. මේ ජීවිත මහා සංහාරයක් සිදු කරන්නට තරම් හේතු වූ සුවිශේෂී සිද්ධීන් කිහිපයක් පමණි. අනෙක් අතට ස්වභාදහම අප හට ලබා දෙන්නා වූ එකම දඬුවම වැස්ස හෝ ගංවතුර පමණක්ම නොවේ. ජාතික වශයෙන් විමසා බැලීමේදී පසුගිය වසරේ කැළණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසියන් ගංවතුරින් විපතට පත් විණි. කවරදාවකවත් නොවූ විරු අයුරින් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට ලක්විණි.අරණායක, බුලත්කොහුපිටිය, බුලත්සිංහල ආදී ප්‍රදේශ නාය යාමට ලක්විණි. ජාත්‍යයන්තර වශයෙන් මෙම ස්වභාවික ආපදා පිළිබඳ විමසා බැලීමේදී  පසුගිය වකවානුවේදී ඉන්දියාවේ උෂ්ණත්වය අධික වීම නිසා වැසියන් ජීවිතක්ෂයට පත්විය. ජෝර්දාන දේශ සීමාවේ රැඳී සිටින සිරියානු සරණාගතයින් ජලය නොමැතිව මහත් දුෂ්කරතාවයකට පත් විය. කැනඩාවේ ඉතිහාසයේ සිදු වූ දරුණුම ව්‍යසනය ලෙස සටහන් වූ උතුරු ඇල්බර්ට් ප්‍රදේශයේ ඇති වූ ගින්නට 88,000ක් පමණ පිරිසක් හසුවිය.


මේ ආකාරයට ලෝකය පුරා සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම එන්න එන්නම දරුණු වේ. මේ ගැන අහසට හෝ පොළොවට සාප කර ඵලක් නැත. වරද අපේමය. මන්ද මෙම ස්වභාවික විපත් සිදු වීම සඳහා පාර කපන්නේද මිහි මත ජීවත්වන මිනිසාම වන බැවිනි. එක් ගසක් කපන් විට තවත් පැල දහයක් සිටුවන්න යැයි අපේ මුතුන් මිත්තන් කියූ  කියමන සම්මූර්ණයෙන්ම ඡේදනය කරමින් මේ වන විට නාගරික ප්‍රදේශවල පමණක් නොව නොව මහා රක්ෂිත වනාන්තරවල රූස්ස ගස් පවා හිත් පිත් නැති ලෙස බිම හෙළමින් ක්‍රියා කරන්නේද මිනිසාමය. ගං ඉවුරු කපා ගෙවල් ගොඩනැගිලි සාදන්නේ ද මිනිසාමය. ඉඳින් නියඟය උදා නොවේවිද? වැව් අමුණු ගංඟා ඇළ දොළ සිඳී නොයේද? වැහි වතුර එක් වී ගංදිය පිටාර ගලා නගර බිම් යටකරමින් නොයේද? සියල් චෝදනා අප වෙතමය. මේ ආකාරයට පරිසර විනාශය සිදු වුවගොත් ඊට සමගාමීව ඇති වන මනුෂ්‍යය ජීවිත සංහාරය දරුණු ඛේදවාචයක් වීම ලොව පාලක දෙවියන් වහන්සේටවත් වළකාලිය නොහැකි වන්නේය.


ඕනෑම රටක් ඒකීය වශයෙන් සංවර්ධනය විය යුතු නමුත් එම සංවර්ධනය කරා පිය මනින මාවතේදී පරිසර සංරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කළ යුතුමය. පරිසර විනාශයත් සමඟ සිදුකරන සංවර්ධනය කිසි විටෙකත් තිරසාර සංවර්ධනයක් විය නොහැකිය. මෙහිදී මෙම තිරසාර සංවර්ධනය යන්න ඉතා වැදගත් වේ. තිරසාර  හෙවත් ධරණීය සංවර්ධනය යනු මූලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. මේ අනුව තිරසාර සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එ්වා සංවර්ධනය කිරීම මෙන්ම අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහා ද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ. අනාගතය සඳහා සම්පත් සුරැකීමේදී යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය. නමුත් හැකි සෑම විටකම අවට පරිසරයේ ගහකොළ, සතා සිවුපාවා ආදිය ආරක්ෂා කර ගැන්මට අපි සැවොම නිතැතින්ම බැඳී සිටිය යුතු වන්නෙමු. මේ අනුව කාලීන පාරිසරික සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් අපේ රටේ දැනට ඉතිරිව තිබෙන ස්වභාවික සම්පත් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සියල්ලන්ගේ වගකීමක් වෙයි. ලොව විවිධ රටවල නායකයින් ජාත්‍යන්තර සමළු පවත්වමින් පරිසර සංරක්ෂණයෙහි වැදගත්කම පිලිබඳව විවධ ප්‍රඥප්තීන් අත්සන් කරනු ලබන්නේ දැනට සිදුවන පරිසර විනාශය එක දිගට සිදු වූ විට මිනිසුන්ට ජීවත් වීම පිලිබඳව ප්‍රශ්ණයක් ඇති වන නිසාය. කාර්මික හා තාක්ෂණික අංශයෙන් ඉහළම සංවර්ධන තලයක ඇති රටවල්වලට පවා දිනක හුස්ම ගැනීමට ඔක්සිජන් පවා නොමැති වන තත්වයත් ඇති වේ. ලංකාවේද මෙලෙස වනාන්තර විනාශ කිරීමෙන් හා පරිසර දූෂණ ක්‍රියා සිදු කිරීමෙන් නුදුරේදීම ඔක්සිජන් බෑගයක් ක‍ඩයෙන් මිලදී ගැනීමට සිදු වනු නියතය. එනිසා මෙම සිද්ධීන් දෙස සමස්ත මානවයාම සවිඥානිකව බැලිය යුතුය.


රට පාලනය කරන රජයකටද මේ පිළිබඳව ඇති වගකීම අනන්තය අප්‍රමාණය. එක් අතකින් ස්වභාවික විපත්වලින් වැසියන් මිය යාම මානුෂික වශයෙන් මෙන්ම රටක ජනගහනය අඩුවීම මගින්ද  එක් අතකින් ගැටළුවකි. එසේම රටක් ආර්ථික වශයෙන් කඩා වැටී අස්ථාවරභාවයට පත්වීමද මහත් අර්බුදයකි. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යම් පමණකින් පසුගාමී රටක් බව අප පිලිගත යුතුය. සියවස් ගනණක වාර්ගික යුද්ධයකින් ද, 2004 දෙසැම්බරයේ දී විනාශකාරී සුනාමියකින් ද පීඩා විඳි අප හට  මූලික යටිතල පහසුකම් පවා හිඟ ය. නමුත් අපදා කළමනාකරණය කෙරෙහි ඇති අවධානය අඩුකොට සැලකිය නොහැක. පීඩාකාරී කාලගුණික සංසිද්ධීන්හිදී සාමාන්‍ය ජනතාවට කල්තබා අනතුරු ඇඟවීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් රජය බැඳී සිටියි. මෙවන් අවස්ථාවකදී බෙදී වෙන් වී එකිනෙකාට චෝදනා කිරීම පසෙකලා සියල්ලන් එකට එක්ව නැගී සිටිය යුතු වන්නෙමු. ආපදා තත්ව පෙරදීම හඳුනාගෙන ඒවා කලමනාකරණයට අවශ්‍යය ඥාණය සහ මෙවලම් දියුණු කර ගනිමින් තාක්ෂණික වශයෙන් මීට වඩා බලවත් විය යුතුය. පවසන තරම් සැහැල්ලුවෙන් මේවා ක්‍රියාවට නැංවීම අපහසු බව සැබෑය. නමුත් අතීත හා වර්තමාන සිද්ධීන් ආදර්ශයට ගෙන අනාගතයට කල්යල් බලා සූදානම් වීම අවැසිය. සිදුව ඇති ආපදා උණුසුමත් සමග ප්‍රතිපත්ති සම්පාදනය පමණක් නොසෑහේ. ඒවා යථාර්ථයක් විය යුතුය. දිගු කාලීනව ක්‍රියාත්මක වීම අවශ්‍යය. ස්වභාවික බලවේග සම්පූර්ණයෙන් පාලනය කල නොහැකි වුව ද ඒවායේ සමාජීය හා ආර්ථික බලපෑම අවම කිරීමට නම් පෙර සූදානමකින් යුතුව ක්‍රියා කල යුතුය. පාරිසරය යනු අධ්‍යාත්මික විෂයකි. මිනිසාට මෙන්ම ජීවය රැඳී පවතින වස්තුවකි. එබැවින් හැකි සෑම අවස්ථාවකම පරිසර සංරක්ෂණය සඳහා දායක විය යුතුය. සිය දෑස් යුග මෙන් අප මිහි මව් ආරක්ෂා කරගත යුතුය.

වාහනයක් හොඳින් නඩත්තු කරන විට ආරක්ෂාකාරී ලෙස ගමන් බිමන් යා හැකියි. නමුත් වාහනය නිසි ලෙස නඩත්තු නොකරනවා නම් එයින් කරදර විපත් ආදී භයානක ප්‍රතිඵල ඇති වෙයි. මිහිතලයද එසේමය. මිනිසා  එය යම් සේ ආරක්ෂා කරයිද මිනිසාවද නිතැතින්ම ආරක්ෂා වේ. අප එය විනාශ කරන තාක් නොදැනුවත්වම අප ළඟා වන්නේ ද අපගේ විනාශය වෙතමය.

  *මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

3 comments:

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...