Tuesday, July 25, 2017

නුඹ තමයි මගෙ සතුට













               
                          හැමදාම මගෙ ළඟම 
                  තනිකමට තනි රැකපු
                  නුඹ තමයි සඳ කුමරු
                  මගෙ හිතේ පායාපු

                  කිසිදිනක මග නොහැර
                  පන වාගෙ මං රැකපු
                  නුඹ තමයි මගෙ ලොවේ
                  ඉටු දෙවිඳු හිත හදපු

                  ජීවිතේ ලද අරුත 
                  නිවැරදිව පෙන්වාපු
                  නුඹ තමයි හීනයත් 
                  සුන්දරම මම දැකපු

                 කඳුලු කැට විසිරෙද්දි 
                 ළඟට ගෙන පිස දමපු
                 නුඹ තමයි මගෙ සතුට
                 හැමදාම මගෙ වස්තු

                         *මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

මොකද්ද මේ විහාර හා දේවාලගම් ආඥා පනත‍‍???




දඹුල්ල, කන්දේ විහාරය ආදී විහාරස්ථානවල ආදායම් සහ පිංකැට සීල් තැබීමේ සිද්ධීන් මූලික කර ගනිමින් විහාර හ‍ා දේවාලගම් පනත පිළිබඳව නිරන්තරයෙන් කතාබහට ලක්විණි. බෞද්ධ රටක ජීවත්වන පුරවැසියන් මෙන්ම බෞද්ධ ජනතාව වශයෙන් මෙම පනතෙහි විධි විධාන පිළිබඳව දැනුවත්ව සිටීම මඟින් නූතනයේ බුදු දහමට සහ අපගේ සිද්ධස්ථානයන්ට මුහුණ පෑමට සිදුව ඇති අභියෝග හමුවේ කටයුතු කළයුතු ආකාරය සහ බෞද්ධ උරුමයන්ට ඇති අයිතීන් උගත හැකි වනු ඇත.

 1905 බෞද්ධ විහාර හා දේවාලගම්  පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස  ඒ පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසිම යේග්‍ය යැයි තීරණය කිරීමෙන් අනතුරුව  නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනු මතය පරිදිදෙන් 1931 අංක 19 දරණ  බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වන දිනදී ලංකා ආණ්ඩුකාර උතුමාණන් වහන්සේ  නියම කරනු ලැබීය.

මෙම විහාර හා දේවාලගම් ආඥා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවතින 12, 000කටත් අධික විහාර සහ දේවාලගම්වල දේපල කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම් මෙහි 4 (i) වගන්තිය යටතේ පන්සල් සහ විහාර 254ක දේපල  භාරකරුවන් යටතේ පාලනය වන අතර 4 (ii) වගන්තිය යටතේ ඉතිරි සියලුම විහාර සහ දේවාලගම්වල දේපල පාලක විහාරාධිපති භික්ෂූන් වෙත පැවරේ. මෙහි 4 (i) වගන්තියෙහි සඳහන් භාරකාර තනතුර අදාල විහාරයේ හෝ දේවාලයේ විහාරාධිපති විසින් යෝජනා කරනු ලබයි. අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ බලතලවලට යටත්ව එකී භාරකරු නීත්‍යානුකූලව පත්වෙයි. එසේ පත්වන භාරකරු විසින් අදාල විහාර සහ දේවාලයන්හි  දේපල පරිපාලනය, ආදායම් වියදම් කළමනාකරණය කිරීම සහ උත්සව කටයුතු සංවිධානය කිරීම ආදී සියලු කටයුතු පාලනය කරයි. මෙම භාරකරු විසින් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ සඳහා ගත යුතු පියවරයන් ද පනතෙහි පැහැදිලිව දක්වා ඇත.

ඒ අනුව 4 (i)  වගන්තිය යටතේ පවතින මෙකී සියලු විහාර සහ දේවාලගම්හි ආදායම් මාර්ගයක් වන පඬුරු පෙට්ටිය මඟින් ලැබෙන ආදායම් පිළිබඳව එකී භාරකාර තැන විසින් ගිණුම් පවත්වා‍ගෙන යා යුතුය. ඒවායෙහි අයවැය හා ඇස්තමේන්තු වාර්ෂික හෝ අර්ධ වාර්ෂික වශයෙන් සකස් කර බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත එවිය යුතු වන අතර  මෙම පඬුරු පෙට්ටිවල ආදායම් ගණනය කිරීම අදාල භාරකරුගේ ලිඛිත ඉල්ලීමකින් පසුව දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව භාරකරු සහ බැංකු නිලධාරින් ඉදිරිපිටදී සිදු කරනු ලබයි. අවසානයේ මෙම සියලු ආදායම් පාරදෘෂ්‍යභාවයකින් යුතුව ගනණය කර අදාල විහාරස්ථානයේ බැංකු ගිණුමකට බැර කිරීම සිදු වේ. පනතෙහි 24 වන වගන්තිය මඟින් මෙම මුදල් බැංකුගත කිරීම පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.

(28) බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් අත්සන් කරන ලද ලියවිල්ලකින් එසේ කරන ලෙස නියම කරනු ලබන සිද්ධස්ථානයක භාරකරුවාට ඒ සිද්ධස්ථානය වෙනුවෙන් ලැබෙන සියලුම ඵල ප්‍රයෝජන, බදු මුදල් ලාභ හා පුද පූජා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මැනවැයි පිළිගනු ලබන බැංකුවක හෝ සිද්ධස්ථානයක නමින් වෙනම ගනණක් තබා තැම්පත් කළ යුතුය. 

මෙසේ තැම්පත් කරන මුදල් නිරන්තරයෙන්දෙපාර්තමේන්තුවේ විගනණයට යටත් වන අතර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් අවශ්‍යය  අවස්ථ‍ාවන්හි අදාල භාරකරුට විහාරයේ හෝ දේවාලයේ කටයුතු සඳහා යොදාගත හැකිය.ශ්‍රී දළඳා මාලිගාව, ශ්‍රීපාදස්ථානය, දඹුලු රජමහා විහාරය,ඛෙත්තාරාම කන්දේ විහාරය , රුහුණු මහා කතරගම දේවාලය, රත්නපුර සමන් දේවාලය, දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලය,සීනිගම දේවාලය ඇතුලු ඉහත කී විහාර සහ දේවාල 254හිම පඬුරු පෙට්ටි ආදායම් පාලනය වන්නේ එලෙසිනි. මෙම කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීමට බෞද්ධ කටයුතු ‍දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන අතර ඉන් ගරුතර භික්ෂූන් වහන්සේලාටද මූල්‍යමය වශයෙන් එල්ල වන යම් යම් චෝදනාවලින් නිදහස් වී කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ. අනෙක් අතට මහජනතාවට ද මෙම කටයුතු පිළිබඳව විශ්වාසනීත්වයක් ගොඩනැගීමට මෙම පනතට අනුකූලව ක්‍රියාත්මක වීම මඟින් සිදු වෙයි.

තවද මෙම පනතෙහි වගන්තීන්ට අනුව යම් භික්ෂුවක් සතු වූ පෞද්ගලික දේපල උන් වහන්සේ ජීවතුන් අතර සිටියදී යමෙකු හට පවරා නොතිබූයේනම් ස්වාමීන් වහන්සේගේ ‍සියලුම දේපල සඟ සතු වන බවද දක්වා ඇත. එසේ නොමැතිව කිසිදු හේතුවක් මත ස්වාමීන් වහන්සේගේ අභාවයෙන් පසු උන් වහන්සේගේ පවුලේ අයට හෝ ගෝල භික්ෂූන් වහන්සේලාට හිමි නොවන බවද පැහැදිලිව දක්වා ඇත.

2016 ආරම්භ කළ ව්‍යාපෘතියකට අනුව මෙලෙස භාරකරුවෙකු යටතේ පාලනය වන විහාර සහ දේවාලගම් සතු සියලුම දේපල ලැයිස්තුගත කිරීමක් සිදු වන අතර එම භාණ්ඩ සමීක්ෂණය සහ ඊට අදාල වාර්තා සැකසීම වාර්ෂිකව සිදු කිරීමට බෞද්ධ කටයුතු ‍දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. එමඟින් කිසිවෙකුට මෙම දේපල අයථ‍ා ලෙස භාවිතයට ගැනීමට හෝ අස්ථානගත කිරීමට ඇති හැකියාව ද අහිමි වේ.

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Tuesday, July 18, 2017

ජීවිතය නුඹ














ගඟකි ඔබ,
නිහඬ ලෙස ගලා යන
මල් පියල්ලකි මම,
වැටුන ඒ ගං දියට
මා ළඟින් රැඳෙන බව
විටෙක අමතක වුවද
දනිමි ඔබ මා දමා
දුරින් දුර නොයන බව...
දයාබර දෑස් යුග
දුර ඈත රඳවාන
විටෙක ඔබ එකම එක
වදනකුදු නොදොඩාම
හිඳින විට නිහඬ වී
දුකක් දැනුණත් සිතට
දනිමි ඔබෙ සිත පුරා 
රැඳුනු සෙනෙහස් මහිම...
බොළඳ හිතුවක්කාර 
නොසන්සුන් මගෙ සිතට
නුඹ දුන්න ආදරේ 
දැනෙයි මහමෙර ලෙසට
නුඹේ එක් දසුනකින් 
සිත නිවී පහන් වන
කුමන අරුමයක් දැයි 
කියා දෙනවද මෙමට...
නෙක පාටවලින් හැඩවුණු
හීන පිරි ලෝකයක
මසිත අසරණ නොකළ
සැබෑ පේ‍්‍රමයයි නුඹ
සසර සැරිසරණ තුරු
මගෙම වෙන්නට පතන
සියක් පාරමි පුරා
පැතූ ජීවිතය නුඹ...

Sunday, July 16, 2017

අදම අරඹමු.. ඩෙංගු දුරලමු..



ර්තමානයේ ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය ඔබ අප සැමගේ ජීවිතයට මහත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය, වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඇතුළු ආයතන රාශියක් මේ වන විට මෙම තත්වය මැඩ පැවැත්වීම සඳහා විශාල උත්සාහයක නිරත වෙයි. සියළුම රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසියද මෙම අවස්ථාවේ සිදු කරන මෙහෙවර ප්‍රථමයෙන්ම අප අගය කළ යුතුයි.

ලංකාවේ විතරක් නොවෙයි මේ වන විට ආසියාවේ රටවල් කිහිපයකම මෙම ව්‍යසනය පැතිර ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන්  ජුනි- ජූලි මාස වල කඩින් කඩ ඇති වන නිරිතදිග මෝසම් වැසි තත්වය නිසා මෙම ඩෙංගු උවදුර හිස ඔසවන අතර කෙමෙන් එය යටපත්ව ගියද නැවතත් ඔක්තෝම්බර් - නොවැම්බර් මාසවල ඩෙංගු මදුරුවාගේ බෝවීම පැතිර යනවා. නමුත් මෙවර මෙම තත්වය ඉතා දරුණු අතර හැරී තිබීම කණගාටුදායක තත්වයක්.

කෙසේ වුවද අදාල ආයතන වලින් ලබා  දී ඇති දත්තවලට අනුව මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 89,885ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආයතන ඒ ඒ පලාත් වලින්  මෙම රෝගී තත්වය පිළිබඳ දත්තයන් එදිනෙදා ලබා ගන්නා අතර සතිපතා තැපැල් මඟින්ද තොරතුරු ලබා ගැනීමෙන් මෙහි අදාල වාර්තා සකසනු ලබයි. පෙර වසරවලට අනුව මෙවර ද ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් නැතිමුත් එය ආසාදනය වීමේ ප්‍රතිශතය අතිශයින් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඩෙංගු රෝගය පිළිබඳව මහජන දැනුවත්භාවය පුළුල් කිරීමයි. පසුගිය මාසයට වඩා මෙම මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වුවද ඊට සාපේක්ෂව සිදු වූ මරණ සංඛ්‍යාව අවම වීම සතුටට කාරණයක්. ඒ කියන්නෙ පෙරට වඩා ඩෙංගු රෝගය ගැන මහජන දැනුවත්භාවය ඉහළ මට්ටමක පවතින බව පෙනී යනවා.



ඩෙංගු රෝගයෙන් මිය ගිය බොහෝ දෙනාට ඒ ඉරණම අත්වූයේ රෝගය  බොහෝ සෙයින් අසාද්‍ය වූවාට පසු ප්‍රතිකාර ගැනීමට යොමු වූ නිසා. එම නිසා මෙම කාල වකවානුවේදී උණක් සෑදුණු සැනින් වහාම වෛද්‍යවරයෙකු මුන ගැසෙන්න. ඩෙංගු රෝගය මුලදීම හඳුනාගතහොත් විවේකීව සිටීමෙන් හා පොෂ්‍යදායී ආහාර ලබා ගැනීමෙන් පමණක් වුවද එය සුව කරගත හැකියි. නමුත් වෛරසය ශරීරය පුරා ව්‍යාප්තව ඔබට අසාද්‍ය වූ පසු නැවත ඉන් මිදීමට තරමක් අසීරු බව සිහියේ තබා ගන්න.

මෙහි අනෙක් විශේෂත්වය තමයි මෙය වැලඳෙන බහුතරයකට මෙම රෝග ලක්ෂණ එකවර පෙන්වන්නේ නොමැති වීම. නමුත් පහත සඳහන් රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරනෙකු මුන ගැසිය යුතුයි.

*හිසරදය සහ ඇස් යට වේදනාව
*මසිපිඬු හා සන්ධි වේදනාව
*ඔක්කාරය හා වමනය
*සමෙහි රතු පැහැ ලප හට ගැනීම
*රුධිර වහනය තත්වයන්

ඉහත කී රෝග ලක්ෂණ ඔබට ද ඇත්නම් පැය 48ක් ඇතුලත රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍යවරුන් ලබාදෙන උපදෙසයි. එම වාර්තා සාමාන්‍ය වුවද ඉදිරි 24 පැය තුලදී ද ඔබට යම් සුවයක් හෝ නැතිනම් නැවතත් රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම කල යුතුමයි. මෙම ඩෙංගු උවදුර හමුවේ රජය මඟින් පෞද්ගලික ආයතනයකින් කරනු ලබන රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව රුපියල් 250 දක්වා සීමා කර තිබෙනවා. එසේම තම නිවසේ සාමාජිකයෙක් ඩෙංගු උවදුරට ගොදුරු වූ බව දැනගත් වහාම ඒ පිළිබඳව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයාට දැනුම් දීම අනිවාර්ය බව සළකන්න. මන්ද, ඩෙංගු රකුසාගේ ඊළඟ බිල්ල ඔබ විය හැකියි. නිවැසියෙකුට ඩෙංගු වැලඳෙනවා යනු, ඔබටත් එය වැලඳීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි බවයි.



මෙවර ලංකාවේ අපට ආසාදනය වන්නේ ඩෙංගු type2 කියන මදුරුවාගේ වෛරසය. මෙම වෛරසය ලංකාවේ මේ ලෙස පැතිරී යන්නේ වසර 7, 8කට පසුවයි. එය මීට පෙර ඩෙංගු ආසාදන වී සනීප වූ පුද්ගලයෙකුට වුවත් යලිත් ආසාදනය වීමට තරම් ප්‍රබලයි. එ් නිසා පෙරදී තමන්ට ඩෙංගු වැලඳී ඇති බැවින් නැවතත් එසේ නොවේවි යැයි සිතා නොසැලකිලිමත්ව සිටින්නට නම් එපා . 


ඒ වගේමයි මෙම නව මාදිලියේ මදුරුවා සාමාන්‍ය මදුරුවන් මෙන් බිත්තිවල වසා සිටින්නේ නැහැ. ඔවුන් නිතරම රැඳෙන්නේ කළුවර ස්ථානවල. ඒ කියන්නෙ ඇඳන්, අල්මාරි, පුටු ආදියේ යටි පැත්තේ. ඒ නිසා මදුරු නාශක දුම් ආදිය මතුපිටින් පමණක් පැතිර යන සේ භාවිතා කිරීමෙන් ඵලක් වන්නේ හැහැ.

ගෙවත්ත ආදිය පිරිසිදුව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඩෙංගු මදුරුවාගෙන් මිදිය නොහැකි බව ඔබ දැන සිටීමත් ඉතාමත් වැදගත් වනවා. නිවසින් පිටත පමණක් නොව නිවස ඇතුළතදී වුවද ඩෙංගු මදුරුවන් බෝවිය හැකියි. මාළු ටැංකි, ජලය එක්රැස් කරන බඳුන්, කූඹින්ට පැමිණීමට නොහැකි වන සේ කෑම මේස කකුල් ආදියට තබන වතුර භාජන ආදී ඕනෑම තැනක ඩෙංගු මදුරුවා බිත්තර දැමීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඔබ නිවසේ මාළු ටැංකි, පොකුණු ආදිය තනා ඇත්නම් වඩාත් සැළකිලිමත් වන්න. සමහර මාළුන් වර්ග මෙම මදුරු කීටයින් ආහාරය ගන්නේ නැහැ. එවන් ජල ටැංකි මදුරුවන්ට බිත්තර දැමීම සඳහා මනා තෝතැන්නක් වීමට ඉඩ ඇත. මෙම මදුරු කීටයන් ආහාරයට ගන්නා මාළු විශේෂයක් ලෙස ගප්පි මාළුන් හැඳින්වේ.එනිසා ඔබ නිවසේ ඉහත කී අයුරින් ජල පොකුණු හෝ මාළු ටැංකි ඇත්නම් එයට ගප්පි මාළුන් දැමීම වඩාත් සුදුසුයි.

කෙසේ වුවද පෞද්ගලිකව තම තමන් ඩෙංගු මාරයාගෙන් ප්‍රවේසම් වුවහොත් එය වඩාත් වැදගත් වනවා. ඔබට ඩෙංගු මදුරුවාගෙන් ප්‍රවේසම් විය යුත්තේ දිනකට පැය 6ක් පමණයි. ඒ කියන්නෙ උදෑසන 6ත්- 10ත් අතර කාලය සහ සවස 4ත්-6ත් අතර කාලය. ඒ කාලය තුළ ඔබගේ ඇඟට මදුරුවෙකුට දෂ්ට කිරීමට නොහැකි වන සේ වගබලා ගැනීමට හැකිනම් එය ඉතාමත් ඵලදායී වනවා. සමහර විට ඔබගේ රැකියා කටයුතු සමඟ මෙය ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒත් කුමක් කිරීමට වුවද ඔබ ඔබේ ජීවිතය සුරක්ෂිත කර ගත යුතු බව මතක තබා ගන්න. රජයකට හෝ ආයතනයකට හෝ මේ සඳහා මැදිහත් විය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බට ඔබේ දායකත්වය අවැසි වන බවද වටහා ගන්න.

විශේෂයෙන් ඔබ නිවසේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සියල්ල විනාශ කර දමා සුපිරිසිදුව පවත්වා ගත්තද දිවා කාලයේදී ඔබ ගත කරන ස්ථානයේ අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඩෙංගු මදුරුවෙකු නොව සාමාන්‍ය මදුරුවෙකු වුවත් ඩෙංගු ඇසාදිත රෝගියෙකුට දෂ්ට කිරීමෙන් අනතුරුව එම මදුරුවාගේ ශරීරය තුළ එම වෛරසය වැඩෙන්නට පුළුවන්. අනතුරුව එම මදුරුවා ඔබට දෂ්ට කළ විටදී වුවද ඔබ ඩෙංගු රෝගය වැලඳීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉහත කී පැය 6 තුළ ඔබ හැකිතාක් මදුරුවන්ට ඔබට දෂ්ට කිරීමට නොහැකිවන පරිදි යම් හෝ උපක්‍රමයක් භාවිතා කිරීමට යොමු වන්න.  විශේෂයෙනේ කුඩා දරුවන්ව ද මෙසේ ආරක්ෂාකාරී ලෙස ප්‍රව්සම් කර ගැනීමට අමතක කරන්න එපා. මොකද, අපට මදුරුවෙක් ඇඟේ වැසූ විට එලවන්නට හැකියාවක් හෝ තිබුණත් කුඩා දරුවන්ට එසේ කිරීමටත් නොහැකි නිසා.


මේ ආකාරයට දිවා කාලයේදී ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වීමට ඔබට යම් උපක්‍රම කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් පෙන්වා දී තිබෙනවා.

*ශරීරය හොඳින් ආවරණය වන සැහැල්ලු කපු ඇඳුම් ඇඳීම. (මෙය ඉතා වැදගත් වන්නේ කුඩා දරුවන්ට. ඉහත සඳහන් කළ පැය 6 තුළ දරුවන්ගේ ශරීරය හොඳින් ආවරණය වන පරිදි ඇඳුමක් අන්දවා තැබීමට දෙමව්පියක් කටයුතු කරන්න.)

*මෙම පැය 6 කාලය තුළ ඔබ නිදන ඇඳේ විවේක ගන්නේනම් අනිවාර්යයෙන් මදුරු දැලක් භාවිතයට ගන්න. (මෙයද වඩාත් ප්‍රායෝගික වන්නේ කුඩා දරුවන්ට, රැකියාවක නිරත නොවන අයට සහ දිවා කාලයේ  නිවසේ රැඳෙන මහලු උදවියටයි.)

*මදුරු විකර්ෂක භාවිතය. එනම් මදුරුවාගෙන් ආරක්ෂා වීම සඳහා යම් ස්වභාවික හෝ කෘතිම ගල්වනයක් ශරීරයේ තවරා ගැනීමයි.  සියලුම දෙනාට පොදුවේ භාවිතා කළ හැකි ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. රැකියාවක නියුතු ඔබට වුවත් මෙය භාවිතා කළ හැකියි. ස්වභාවික ගල්වන (පැඟිරි තෙල් ආදිය) යම් දුර්ගන්ධයකින් යුතු බව සිතන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය සුවඳැති කෘතිම ඇඟ ගල්වන වෙළඳපොලේ ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු  තවත් දෙයක් තිබෙනවා. එනම් දරුවන්ගේ ශරීරයේ මෙම විකර්ෂක භාවිතා කරන විට වයස අවුරුදු  5ට වඩා අඩු දරුවන්ට කෘතිම විකර්ෂක භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

ඒ වගේමයි ඩෙංගු වැලඳුන පමණින් රෝහල්ගත විය යුතුමයි යනුවෙන් ජනතාව තුළ දුර්මතයක් පවතිනවා. නමුත් එය එසේ වන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍යය පරිදි ඖෂධ භාවිතා කරන්නේනම් නිවසේ සිටම ඔබට සුව වන්නට පුළුවන්. එසේ නිවසේ සිට සුව කිරීමට නොහැකි තරම් ඔබට අසාද්‍යයයි නම් ‍වෛද්‍යවරයා විසින් ඔබට රෝහල්ගත වන ලෙස නිර්දේශ කරනු ඇති. අනෙක් අතට ඩෙංගු රෝගය වැලඳුනු පසු පුද්ගලයාගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අතිශයින් පහළ බසිනවා. එය මෙම රෝගයේ සාමාන්‍ය ස්වභාවයක්. එනිසා ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. සාමාන්‍යයෙන් රෝගී වී 7 වන දිනය වන විට නැවත රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළයාම ආරම්භ වනවා. එසේ සිදු නොවුනහොත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුයි. එසේම මෙහිදී පැරසිටමෝල් හැර අනෙකුත් කිසිදු වේදනා නාශකයක් භාවිතයට ගත නොයුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ.

ඉතින් මාධ්‍යවලින් පවා ඩෙංගු උවදුර පිළිබඳ මේ තරම් ප්‍රචාරණයක් ලබා දෙන්නේ ඔබ සිතනවාටත් වඩා දරුණු ලෙස එනම් ජාතික ව්‍යසනයක ස්වරුපයෙන් මෙම ඩෙංගු රකුසා දිනෙන් දින අහිංසක මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින නිසා. රටේ සියළුම මාධ්‍ය පවා එකට එක් වී තම ලාභ අරමුණු පසෙකලා සිය වාණිජ විකාශන කාලය මෙම ව්‍යසනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටින යුගයක රටේ ඇතිවූ අන් ව්‍යසනවලදී මෙන්ම මේ අවස්ථාවේදීත් අප සැවොම අවදි වී එකට එක් වී එකා මෙන් හමුදාවක් සේ ක්‍රියාකළ යුතුයි. මෙය ජාතික වගකීමක් යුතුකමක් සේ සිතා අද සිටම ඔබ ඔබෙන් අරඹන්න. ඔබේ නිවස සේවා ස්ථානය ඩෙංගු මදුරුවාට රජ දහනක් නොකර පිරිසිදුව තබා ගන්න. අදම අරඹමු.. ඩෙංගු දුරලමු..


Thursday, July 13, 2017

අහිමි පෙම














කඳු මුදුනේ හිනැහෙන පුරහඳ
කාටත් නොකියම හොර රහසේ
නුඹ මගෙ වග කිය කිය ඉකි ගැසුවා
මතකද වැහි වැටුණා ඊයේ...
සීතල අහසේ ඈත කොනක පිපි
සඳටත් අමතක තනි තරුවේ
නුඹට ආදරෙයි තවත් ආදරෙයි
ඒකයි දුක කවියක ලිව්වේ...
කඳුල කඳුල ගෙන සුසුමක තවරා
සුළ‍ෙඟේ පා කර හැර රහසේ
හාදු වැසි මතින් දිවුරා කීවත්
පේ‍්‍රමය නම් ගින්දර වාගේ...
සාගරයක තරමට හැඬුවා මම
හිනැහී යනවිට නුඹ මාගේ
නුඹේ පයට පෑගුන වැලි අහුරක්
දෝතටගෙන සිඹගමි ආයේ...
ආදරයේ නාමෙන් දුක විඳගමි
දෛවයෙ සරදම් ලද අරුමේ
කෙදිනකහෝ මියැදෙන්නට පතනෙමි
නුඹගේ උණුසුම් ළය මැද්දේ..

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Monday, July 10, 2017

රූප පෙට්ටිය

  











උඩ ඇඳුමට උඩින්
යට ඇඳුම අඳින
සුපර් මෑන්...
ඇඹරෙමින් පෙරලෙමින් 
ගමන් යන
සොනික්...
හිටි හැටියෙ අත්භූත 
වෙස් පෙරලන 
බෙන්ටෙන්...
සිඟිති මනසේ 
කරයි හොල්මන්...
තනයි ඒ ලෙස
පුංචි පඹයින්...

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*



ආදරයද, ප්‍රෝඩාවද, ටජ්මහල්....?







ජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජහාන් රජතුමා විසින්  සිය මිය ගිය ආදරණීය බිසවක වූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් ලෙසයි. නමුත් මියගිය පසු ආදරය වෙනුවෙන් සිහිවටන තැනීම සැබෑ ආදරයද....?

මුම්ටාස් යනු රජ කෙනෙකි.මා දන්නා තරමින් ඔහුට අන්ත:පුර බිසෝවරුන් හත් දෙනෙක් හිටියා. ඉන් සිව් වෙනියා තමයි මේ මුම්ටාස් දේවිය.මුම්ටාස් දේවිය මිය ගියේ සිය දා හතර වැනි දරු ප්‍රසූතියේදි කියලයි කියැවෙන්නේ. ඒ වගේමයි සිය දේවිය වෙනුවෙන් කිරිගරුඬ වලින් නිම කරවූ ටජ්මහල් හැදුවා කියන සාජාහන් රජුම මුම්ටාස් මැරුණට පස්සේ ඇයගේ නැගෙනියව විවාහ කර ගත්තා කියලත් කතාවක් තියෙනවා. එතකොට මේ මහමෙරක් තරම් ආදරේ කොහේ සැඟවුණාදෝ කියලා නිකමට වගේ හිතෙනවා.

පෙම්වතුන්ගේ ලෝකයේදී  නිමල ආදරයේ අමිල ප්‍රතිනිර්මාණයක් සේ සළකන මේ ටජ්මහල සත්‍යය වශයෙන්ම ආදරයේ සදානුස්මරණීය සිහිවටනයක්ද, එසේත් නැත්නම් තමන්ගේ ආදරේ මහන්තත්තකම පෙන්වන්නක්ද යන්න බුද්ධියේ විමසුමින් එකිනෙකා තීරණය කළ යුත්තක්. 

හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. දැන් දැන්  ආදර ලෝකයේ බහුතරයක් ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාජහන්ලම තමයි. අනෙක් අතට නමට හරි මුම්ටාස් දේවියක් වගේ ආදර ලෝකයේ නිකැලැල් බවින් පිදුම් ලබන්න සුදුසු යුවතීන් ඉන්නෙත් හරිම අතලොස්සක් විතරයි. ඒත් ඒක එක අතකින් සාධාරණයි. නවීකරණය නොවූ, නව මාධ්‍ය උන්මාදයෙන් තොර වූ කාලයේදිත් සාජහන්ලා හිටියනම් මේ වගේ වේගවත් ගමනක මුළු මහත් සමාජයම ගමන් කරන අද වගේ කාලයක සාජහන්ල තොග පිටින් බිහි වෙන එකත්, මුම්ටාස්ලා නමටවත් නැති වෙන එකත් අරුමයක් නෙවෙයි.

ඉතිං කොහොම උණත් ඉන්දියාවෙ චාරිකාවල යන අය වගේම දඹදිව වන්දනාවෙ යන අයත් කකුල් වලට ‍ෂොපින් කවරත් දාගෙන හරිම භක්තියකින් ටජ් මහල් බලන්න යනවා. පුංචි අපි මේ කියන සාජහන් නම් ආදරයේ සදාතනික නිමැවුම්කරුවාගෙ ආදර මාලිගාව ළඟදි හරියට කුරුමිට්ටන්ටත් වඩා පොඩියි. ඉතිං  අපි එතැන්ට ගිහින්  "බුදු අම්මෝ සාජාහන්ගේ ආදරේ තරම"  කියලා හිතනවා. ඒත් ඔය කියන ආදරේ අහලකටවත් ළං වෙන්න බැරි ඔබ්බවූ කිරිගරුඬවල දිස්නයත් පරදන පූජනීය කැප කිරීම් කරපු පෙම්වතුන්  ඇත්තෙන්ම එදා වගේම අදත් ජීවමානව ඉන්නවා. ටජ් මහල් නොතැනුවත්, ඉතිහාසයට එක් නොවූවත් හදවතේ උපදින ආදරේ පිවිතුරුයි නම් ඒක මේ මුළු ටජ් මහල් මන්දිරයටම වඩා වටිනවා.මේ ගැන කියද්දි තවත් එක් කතාවක් මතක් වෙනවා. ඒ සාජහන් රජු මුම්ටාස් දේවියව අයිති කර ගත්තේ ඇය විවාහ වෙලා හිටපු පුද්ගලයාව මරලා දාලා කියලාත් කියනවා. එදා එහෙම උණත් නූනත් අදනම් ධනයට බලයට යටවෙලා  ආදරය මරලා දාන පෙම්වතුන් වගේම පෙම්වතියොත් එමටයි.

ටජ්මහල ගැන සඳහන් පුරාවෘත්තවලදි සාජාහන් රජු හැමදාම හවසට යමුනා ගඟ අයිනේ තියෙන මේ ටජ්මහලට ඇවිත් රෑ වෙනකල් තමන්ගේ ආදරණීය බිරිය ගැන හිතලා කඳුළු සැලුවයි කියලත් කියනවා. එක් අතකින් මේව   සුරංගනා කතා. ඇත්තටම මුම්ටාස් මැරුණට පස්සේ ටජ්මහල් තනවපු සාජහන් ඒක පෙන්නල මුම්ටාස්ගේ නංගිව අඹුකමට අරන් කම් සැප වින්දා වෙන්නත් පුළුවන්. මොකද ලෝකෙ ගොඩක් වෙන්නෙ ඒ වගේ දේවල්. හැමදේම බොරු මවාපෑම් රඟපෑම් විතරයි. අවුරුදු ගානක් ලෑස්ති වෙලා, රටටම අණබෙර ගහලා, තරු පහේ හෝටල් වල  දවස් හතක් මඟුල් කාලා, මාස තුනක් පිටරටවල හනිමූන් යන සමහරක් උදවිය දික්කසාද වෙන්න යන්නෙත් මාසයයි. ඒ වගේමයි සමාජෙට පේන්න මහා උජාරුවට ආදරෙන් ඉන්න බව පෙන්නන සමහරුන් තනි වුනු වෙලාවට නයි පොළොන්ඟු වගේ. ආත්ම ගණනක් පතන් ආපු වෛරක්කාරයො වගේ. රජ සිටු මැදුරුවල සිරි යහන් ගබඩා වලින් හමු නොවන ආදර කතා දුගී දුප්පත් පැල්පත්වලින් හරි අපූරුවට සොයා ගන්නත් පුළුවන්. ආදරය කියන්නෙ ජාතියක්, ජන්මයක් නොදන්න කුලයක්, ගෝත්‍රයක්, පැහැයක් නොපෙනෙන හරිම අපූරු මීදුම් පටලයක් වගේ දෙයක්. හිරිගඩු නංවමින් රැඳී සිටිනවාද අව්වට බියේ සැඟව යනවාද යන්න තීරණය කළ යුතුතේ ආදරය කරන්නවුන්ම තමයි.

ඇත්තටම ආදරය කියන්නෙ ලේ මස් ඇට නහර වලට තදින්ම කා වදින හරිම පිවිතුරු හැඟීමක්. ඒත් මොන පාපයක්ද මන්ද, ඒ පිවිතුරු හැඟීම නිකැලැල්ව විඳින්න මේ ලෝකේ හුඟ දෙනෙක්ට පින නෑ. සිදුහත්-යශෝදරාවන්, නකුල මාතාවන්-නකුල පිතෘන් මේ ලෝකෙ බිහි වෙන්නෙ  හරිම දුර්ලභවයි. ඒත් එහෙම අයත් නැති බවම කියන එකත් අසාධාරණයි.

මේ අතරතුර මතක් වෙනව කරුණාරත්න අබේසේකරයන්ගේ පද බැඳුමට ජෝතිපාලයන්ගෙ හඬින් ප්‍රානවත් වෙන හරිම ලස්සන ඒ වගේම ගොඩක් අර්ථවත් සිංදුවක්.

ටජ්මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී 

මේක කියන පෙම්වතාට  තමන්ගේ  ආදරේ මෙච්චරයි  කියලා භෞතිකව වටිනාකමක් දෙන්න බෑ කියලයි මේ කියන්නෙ. මොකද, ඉන්දියාවේ ටජ්මහල සාමාන්‍යයෙන් ආදරයේ භෞතික වටිනාකම, නැත්නම් ආදරේ කියන මිනිස් හැඟීමේ නොමියෙන ප්‍රතිමූර්තිය කියල බොහෝ දෙනෙක් සැළකුවත් මේ වැලි, සිමෙන්තිවලින් හැදුණු ගොඩනැඟිල්ලක් ආදරයට සමාන කරන්න පුළුවන්ද කියන දේ මේ පද මාලාව අභ්‍යන්තරයෙන් හඬ නගා අපෙන් අහනවා. ඔහු තමන්ගේ ඒ සෙනෙහස නාමයෙන් ටජ්මහල් නොතැනූවත් හිස් අහසේ ගෑවෙන්නට තරම් උස් වූ ඒ ආදරයේ හැඟුමන් සියල්ල කැටි කරලා ගී පදවැල් ලියූවොත් අහස තෙක් උස් වූ සෑයත් බඳින්නට තරම් එය සුවිසල් වේවි. ඉතිං සාජාහන්ගේ මේ ප්‍රෝඩාවට වැඩිය ජෝතිපාල කියන මේ ආදරය කොයි තරම් නම් අවංකයි ද, නිර්මලයි ද, පූජනීයයි ද කියල හිතෙනවා.ඒ ආදරේට හිමි වටිනාකම දෙන්න ,ඒ ආදරයට තුරුළු වෙලා ඒ සුන්දර උණුසුම විඳින්න,ඒ ආදරයත් එක්ක කෝලම් කර කර හිනාවෙන්න, ඒ ආදරය තුල ජීනමානව ජීවත් වෙලා මිය යන තුරුම එක්ව හිඳින්න අපි හුඟ දෙනෙක් ඇත්තටම පිං කරලා නැති වග ගොඩක් වේදනාවෙන් උණත් පිළිගත යුතුම සදාතනික සත්‍යයක්.

මැරුණට පස්සෙ මල් වඩම් තියලා වැලි, සිමෙන්තිවලින් නෙමෙයි කිරිඟරුඬ ඔබ්බවලා සොහොන් කෝත බැන්ඳත්, පිළිම නෙළුවත්, වසරක් පාසා පහන් පත්තු කරලා මල් මාලා දැම්මත් ළඟ ඇති කළ නොවුනු ආදරේ මියැදුනු පසු කුමකටද කියල තමයි අහන්න වෙන්නෙ. එහෙම බැලුවහාම අද ප්‍රේමයේ මහා සංකේතය කියලා අපි කියන්නේ මහා ප්‍රෝඩාවකට වංචාවකට කියල හිතෙනවා. ඒකත් හරියට ආදරය කියන වචනයේ තේරුම නොදැන ආදරය කරන පෙම්වතුන් වගේ...

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*



Sunday, July 9, 2017

වැස්ස සහ මම















අහස හරි පුදුමයි
මහ වැස්සක දිය බිදු
දරනවා එක වරම...
මේ සිතත් ඒ වගෙයි
මහරක් වන් වේදනා
උහුලනව එක සිතට..
විඩාබර වැස්ස නුඹ,
දිනක දරන්නට බැරිව
කඩා හැලෙනවා නොවෙද
මේ මහා පොළොව මත..
මමත් යම් දිනෙක
හඩා වැටේවි එලෙසින්ම
කදුලු කැට සලමින්ම
දුක දරා ගනු බැරිව ....

ඩෙංගු


මදුරුවන්ට පුරුදු කළද
මල් පැණි බොන්ට...
ඩෙංගු වලට හැකි වේවිද
අප මුදවන්ට...
මිනිසුන් හට පාර කියමු
ඉන් වලකින්ට...
පරිසර මව් පණ මෙන් ඔබෙ
නිති රැක ගන්ට...

Wednesday, July 5, 2017

නුඹ සදක් නම්.....























නුඹ සඳක් 
නම් අවැසි නෑ
මෙමට,
සැමගේ අදුර
දුරු කරවන...
තරු පොකුරු
වට කරගෙන
ඉන්නෙපා
පෙනෙන්නට,
ඉරිසියයි මහ
ගොඩක්,
දරණු බෑ කිසිදාක..
සුදිලෙන්න
මසිත පුරා
පුංචි මැටි පහනක්ව,
රැක ගන්නම්
පරිස්සමින්
නිවෙන්නට නොදී
ආදරෙන් සැමදාම...

*මනුෂ්කා නදුෂානි  ප්‍රේමරත්න*

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...