Friday, June 30, 2017

දෑස් හැර බලපියව් ...

බුදු මැදුර දුහුවිලින්
වැසී යයි..
පිළිම හිස මකුළු දැල්
සිනාසෙයි..
මළසුනේ පර මලුත්
ඉකිබිදියි..
දිරාගිය අපලවැල් වියරුවෙන්
සේ පෙනෙයි..
දනට,මරණෙට ලොකු සාදූ
මතක් වෙයි..
පොහෝදාටවත් පන්සලට
නොම ඇදෙයි..
දිනෙන් දින ශාසනේ රටපුරා
පිරිහෙතෙයි..
බොදුණුවනි තොපි නිදිද
දෑස් හැර බලපියව්...

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

අංගම්පොර සටන් කලාව





සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාවක් ලෙස සළකනු ලබන මෙය බෞද්ධ ආභාෂය ලද පුරාණ ශිල්පයක් සේ සැලකෙයි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණයන් අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ, පිනුම් ක්‍රම ආදිය සුවිශේෂී වේ. මෙහි විශේෂත්වය වන්නේ අංගම්පොර සටන් කලාව පුරුෂයින් මෙන්ම ස්ත්‍රී පාර්ශවයට ද පොදු වූ සටන් කලාවක් වීමයි.මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත (ඉලංගම්) හා ආයුධ රහිත (අංගම්) ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන්  ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නැමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින් ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන්නන් උඩු කය නිරුවත්ව එහි නිරත වීම සම්ප්‍රදාය වන අතර ස්ත්‍රීන් පමණක් සාම්ප්‍රදායික හැට්ටයෙන් සැරසෙන අතර යටි කය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොටු සුදු සරමක්ද හඳිති.


මෙම සටන් කලාවේ යෙදීම ඉතාමත් පූජනීය ලෙස සළකනු ලබන අතර එය පුහුණු වන්නට පැමි‍ණෙන්නන්ගේ හඳහන පරීක්ෂා කර බලා එහි ග්‍රහ පිහිටීම්වලට අනුව අදාල පුද්ගලයා සටන් කලාවේ යෙදීමට සුදුසුද නැද්ද යන්න තීරණය කරනු ලබයි. එසේම ඔවුන් පිරිසිදු බෞද්ධයෙකු වීමද අනිවාර්ය අංගයක් සේ සළකනු ලැබේ. ප්‍රථමයෙන් පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජාකොට ඉගෙනුම අරඹන සිසුහු භාවනා ක්‍රම මගින් සිත දමනය කිරීමට පුහුණු වෙති. ඔවුහූ අනතුරුව අංගම්පොර කලාව හා බද්ධ වූ ඉතා  දැඩිවූත්, රළුවූත් පුහුණු අභ්‍යාස වල නිරත වෙති. පුහුණුවීම්වලට හෙළවෙදකම, ඉතිහාසය, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රීය කොටස් ද අඩංගු වේ.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණ කරන ලද අයෙක් විය යුතුය.එම ආධ්‍යාත්මික ශක්තිය ඔහු ලබා ගත යුත්තේ  බුදු දහම තුලින්ය. සැබවින්ම අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගත වෙයි. ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරත වෙයි. හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩ විසි කර දෙපළු වන්නට පා පහර ගැසීම, ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම, බිහිසුණු කුළු හරක් මෙල්ල කිරීම, කුලප්පු වූ අලි ඇතුන් මෙල්ල කරගැනීම, අතින් පොල් ලෙලි ගැසීම, අතින් පොල් බිඳීම, පොල් ගසට වැලමිටෙන් පහරදී ගස සෙලවීම, පොල් ගසට පයින් ගසා පොල් කැඩීම, හක්ගෙඩියකට වැලමිටෙන් ගසා සුණු විසුළු කර දැමීම  ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහා පෑමට සිදුකරනු ලබයි.


මෙම ශාස්ත්‍රය කෙතරම් තියුණු තාක්ෂණයක් දැයි පැවසුවහොත් සම්පුර්ණ අංගම් සටන් කලාව ඉගෙන ගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවත කාලය  මදි බව අප එහි නියැලෙනන්නන් පවසා ඇත. මෙහිදී ඉතා වැදගත් වන්නේ නිල ශාස්ත්‍රමය දැනුම නිවැරදිව ඉගෙනීමයි. අංගම්පොර  සටන් ක්‍රම තුල නිල වලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය. ක්ෂණිකව මරණයට පත්වන සේ  නිලවලට පහරදීම, කල්ගතව මැරෙන්නට නිල ස්ථානවලට පහර දීම, නිල අල්ලා ප්‍රතිවාදියා ගොළු වන සේ එසේත් නැත්නම් බිහිරි වන සේ පහරදීම, සිහි නැතිවන්නට නිල වලට පහර එල්ල කිරීම හා මළමුත්‍රා පිටවීමට නිලවලට පහරදීම ආදිය ඒ අතරින් සමහරකි. විශේෂයෙන්ම මහා මාරක නිල ශාස්ත්‍රය වැනි දියුණු සටන් ක්‍රම හැදෑරීමේදී එය විදේශීය ආක්‍රමණවලදී හැර තම පෞද්ගලික ප්‍රතිවාදීන්ට එරෙහිව භාවිතා නොකරන බවට ශිල්පය හදාරන විට අදාල ශිල්පියා දිවුරා පොරොන්දු විය යුතුය.

අතීතයේ රාජ්‍ය හමුදාවන්ට ද මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. "අංගම් හරඹ" යනු අංගම්පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. එම අංගම් මඩු අංශ දෙකකින් යුක්ත විය. එනම් හරඔ ශාලාව හා ඉල්ලම් මඩුවයි. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉල්ලම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. මොවුන් පෙරහැරවලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධපිටිවලදී අවශ්‍යය අවස්ථාවන්ට උචිත වන ලෙස එම හැකියාවන් යොදා ගැනුණි. අතීත රාජ්‍ය යුගයන්හීදී යෝධයා යනුවෙන් හැඳින්වූ රණ ශූරයන් මෙම අංගම් කලාවේ කෙළ පැමිණියන් ලෙස සැළකේ. පසුව මෙම රණශූරයන්  "පනික්කිරාළ " ලෙස ද හැඳින්වුණි. මෙම නාමය අග්‍ර ගණයේ වික්‍රමාන්විත රණ ශූරයෙකු හැඳින්වීමට භාවිතා කරන අතර  අංගම්පොර සටන් කලාවෙහි ලද හැකි උසස්ම තනතුරක් ද වෙයි. අංගම්පොර සටන් කලාව සඳහා භාවිතා කරන සුවිශේෂී  මූලික අවි ආයුධ 21ක් ඇත. 


ජන වහරේ සඳහන් ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන් ද ඔබ්බට වසර 33,000කින් එහා ඉතිහාසයකට විහිදෙයි. ඵෙතිහාසික මූලාශ්‍රයන්ට අනුව  සුර - අසුර, රාම - රාවණා ආදී යුද්ධවලදී ද හෙළයන් අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර ඇත. අංගම්පොර සටන් කලාවෙහි ස්වර්ණමය යුගය ලෙසද මෙම යුගය හඳුනාගත හැකිය.රාවණ රජු නිල ශාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය  ග්‍රන්ථ තුලින් ද පැහැදිලි වෙයි. රාවණා රජු  සහ අංගම් කලාව අතර සම්බන්ධය කෙතරම් ප්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස්කොට රාවණා ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට පවා උපරිමයෙන් දායක වී ඇත.


අනුරාධපුර රාජධානිය දකුණට සංක්‍රමණය වෙත්ම මෙම සටන් කලාවද එම ප්‍රදේශයටම  සංක්‍රමණය වන්නට විය. 1818 දී එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම කලාව තහනමනට ලක්කරන විට එය  මහනුවර යුගයේ පැවති බව පැවසේ. සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසීන් අතට යටත් කරගත් පසු ඔවුන්  අංගම් කලාව ඉතා පහත් ක්‍රීඩාවක් ලෙස හැඳින්වූ අතර එය පුහුණු වුවහොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට පවා අණ කෙරිණි. එනමුත් එයින් පසුගාමී නොවූ හෙළ සිංහලයන්  මෙම පාරම්පරික සටන් කලාව කීප තැනකදීම රහසින් පුහුණු වන්නට විය. එ් අනුව මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත්විය. එපමණක් නොව, මෙහි ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සටන් කලාවෙහි පැවති  යම් යම් කොටස් නර්තනය තුළටද බද්ධකොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට සාක්ෂි අදටත් සමහර නර්තනාංග තුළ දක්නට ලැබේ. ඒ අනුව වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම ආදී සංස්කෘතිකාංගයන්යහි ඒවා දැකගත හැකිය.

ක්‍රි.ව. 20වන සියවසේ අග භාගයේදී දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා සමාජය යටගියා වූ ශිල්පය පිළිබඳව පිබිදීමකට ලක්  විය. මේ නිසාම වත්මන් සමාජයේ ඇතැම් පිරිස් මෙම සටන් කලාව පිලිබඳ ඉගෙන ගැනීමට උනන්දුවක් දැක්වීමට පටන් ගත්හ. නමුත් අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පයෙහි යෙදුනු ශිල්පීන් හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරු නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්පත්වල සාක්ෂි මඟින් අදටත් සඵත වේ.  


මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න








Thursday, June 29, 2017

අහිමි තරු මල












සීත නිශායාමයේ
මහද මඩල වෙත පැමිණි
පුංචි පිනි කඳුල නුඹ...
උදා හිරු සමග විත්
මා ගතෙහි දැවටී
දඟකම් කළ
මුදු සුමුදු පවන නුඹ...
දිවිමගේ අතරතුර
මා නෙතඟ අද්දරින් පිපි
දෑ සමන් පියුම නුඹ...
නෙලන්නට සිත් වුවත්
මා සුරත දිග නොවූ
මටම අහිමි තරු මලත් නුඹ...

මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න

Wednesday, June 28, 2017

තාරුණ්‍යයේ නවතම විප්ලවය





1948 පෙබරවාරි මස 04 යනු ලක්වාසී අප සැමට සදා මතකයේ රැඳුණු එකතරා සුවිශේෂී දිනයකි. එනම් ශ්‍රී ලංකාව සුදු ජාතීන්ගේ පාලනයෙන් නිදහස ලබා නිදහස් ස්වෛරී රාජ්‍යයක් ලෙස අභිමානයෙන් යුතුව හෙළ ධජ එසවූ බැවිනි. 1948 වසරේ මෙන්ම ඉන් වසර 56කට පසු, එනම් 2004  වසරේ පෙබරවාරි 04 වැනි දිනය ද ලක්වාසී නොව ලෝ වාසී බිලියන ගණනාවක මානවයාගේ දෛනික ජීවිතයට නව අංගයක් එක්වෙමින් ඉතිහාසගත වූ ‍ඓතිහාසික දිනයකි.  පිපාසයට වතුර පොදක් අවැසි වනවා සේ ඔබ මො‍හොතක් විවේකී වූ විට, හුදෙකලා වූ විට සිත අත නෙත කණ සොයන ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ නිර්මාණය වූයේ මේ දිනයේදී වීම මෙම කී සුවිශේෂීත්වයයි..  පෑනේ මිතුරු මිතුරියන්ට ලිපි ලියමින් සමාජ සම්බන්ධතා ගොඩ නැගූ යුගය යල් පැන ගිය මෝස්තරයක් බවට පත්ව මානව හා සමාජ සම්බන්ධතා පුළුල් පරාසයකට ගෙන යන සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් ලෙස ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ හඳුනාගත හැකිය. ඉතින් 2004 සිදු වූ මෙම විප්ලවීය සොයා ගැන්ම සමරා ජයපැන් පානය කරන්නේද, තුටු ධජ ඔසවන්නේද එසේත් නැතිනම් වස දිය පානය කරන්නේ හෝ කළු කොඩි ඔසවන්නේද යන්න තීරණය කළ යුත්තේ  එහි සැරිසරන ඔබමය. ආරම්භය ෆේස්බුක් වුවද මෙම ලිපිය එයට පමණක් සීමා වන්නේ නැත. සමස්ත තාක්ෂණික පහසුකම්  පරිහරණය යන්න හා බැඳේ.


වත්මන් ලෝකයේ තොරතුරු  තාක්ෂණයේ සුපිරි මාවත අන්තර්ජාලය බවට පත්ව තිබේ. බොහෝ දෙනාගේ තොරතුරු සොයා ගැනීමේ මාධ්‍යද මෙය බවට පත්ව ඇත. මෙකී අන්තර්ජාලය තුළ වෙබ් පියු බිලියන ගනණක් ඇති අතර ලොව ඕනෑම අස්සක මුල්ලක සිට තමන්ට අවැසි තොරතුරක්, දත්තයක්, ඡායාරූපයක් එසැනින් ලබා ගැනීමට මෙමගින් ඉඩ හසර ලැබේ. අන්තර්ජාල භාවිතය වඩාත් ප්‍රභලව සිදු වන්නේ ළමා හා තරුණ පරපුර අතරය. ඒ සඳහා වැඩිහිටි පිරිසෙහි මැදිහත් වීම සාපේක්ෂව අවම මට්ටමක පවතින බව පෙනේ. ඒ නව තාක්ෂණය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය මද බැවිනි. කෙසේ වුවද අන්තර්ජාල ෆේස්බුක් ආදී සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිළිබඳ අධ්‍යනයේදී  ඒ හා සම්බන්ධ සාධනීය බලපෑමකට වඩා නිශේධනීය බලපෑමක් දැකගත හැකිය.

ප්‍රථමයෙන් පාසල් ළමුන් සහ අන්තර්ජාලය පිළිබඳව අවධානය යොමුකළහොත් දරුවා සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් මෑත්කර ආකර්ශනශීලී හා විනෝදජනක අධ්‍යාපන දිශානතියකට යොමු කිරීමට අන්තර්ජාල මාධ්‍යට ඇති ශක්‍යතාවය ඉතා ඉහළය. සාම්ප්‍රදායික පන්ති කාමර ඉගැන්වීම් ක්‍රමයට කොටුව සිටින දරුවා නිදහස් මනසකින් යුතු ඵලදායී අධ්‍යාපන රටාවකට හුරු කිරීමට මෙමගින් හැකි වේ.  නමුත් එහිදී දරුවාගේ අන්තර්ජාල භාවිතය යහපත් අරමුණු වෙනුවෙන් පමණක් භාවිතා වන්නේද යන්න පිළිබඳව වැඩිහිටි පිරිස මනා අවබෝධයකින් හා සුපරික්ෂාවෙන් සොයා බැලිය යුතු කරුණකි.



තරුණ ගැහැණු දරුවෙක් රාත්‍රී කාලයේ මහමග ඇවිදිනවා යැයි සිතන්න... එවිට මග වැරදී විවිධ මංමාවත්වල ඇවිද යාමට සිදුවිය හැකියි. එහිදී නන්නාදුදන නානප්‍රකාර පුද්ගලයින් හමුවිය හැකියි. සියල්ලෙන් ආරක්ෂාවී නිවසට පැමිණීම තීරණය වන්නේ ඔබේ දරුවාගේ බුද්ධිමත් ක්‍රියාකාරීත්වයේ තරම පමණටයි. නමුත් ඇතැම් විටෙක දරවා කෙතරම් බුද්ධියෙන් ක්‍රියා කළත් කෘෘර මිනිසුන්ගෙන් මිදිය නොහැකිය. එසේනම් අන්තර්ජාල භාවිතයද මේ හා සමානය. මේ නිසා බොහෝ දෙමවිපියන් දරුවන්ට අන්තර්ජාල භාවිතය තහනම් කරයි. නමුත් සිදු විය යුත්තේ  එය නොවේ. ලොව වේගවත් ගමනක යෙදෙද්දී ලොව යන අතට යෑම නවතා උඩුගං බලා පිහීනීමට අපට නොහැකිය. කළ යුත්තේ ඔබ සූක්ෂම ලෙස කටයුතු කරමින් දරුවාව ආරක්ෂා කිරීමයි. දරුවා භාවිතා කරන පරිගණකය නිවසේ නිතර ඇස ගැටෙන, පොදු තැනක ස්ථානගත කිරීමට මෙහිදී දෙමව්පියන් වගබලාගත යුතුය. එහිදී දරුවාට පරිගණකය අවභාවිතයට ඇති ඉඩකඩ සීමා වනු ඇත. නමුත් ජංගම දුරකථනය පාසල් වියේ දරුවෙකුට කිසිසේත් භාවිතයට ලබා දීම නුසුදුසුය. ඇතැම්විට දෙමව්පියන් දරුවන් නිවසින් පිටත සිටින විට තොරතුරු ලබා දීම හෝ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතනයක් දරුවෙකු අතට පත් කළ යුතුම යැයි සිතන්නේනම් එය අති නවීන කැමරා හෝ අන්තර්ජාල පහසුකම් නොමැති අවම පහසුකම්වලින් යුත් එකක් විය යුතුය.



එසේම දරුවාව හුදකලා භාවයෙන් මුදවාලීමට හෝ තමාට නිදහසේ වැඩක් කර ගැනීමට යැයි සිතා දරුවාව පරිගණක ක්‍රීඩාවකට හෝ වෙනයම් තාක්ෂණික ක්‍රියාකාරකමකට යොමුකරවීම කිසිසේත්ම නොකළ යුත්තකි. හයක් හතරක් නොදන්නා කුඩා දරුවෙකු වුවද ජංගම දුරකතනයක් ගෙන අන්තර්ජාලයේ එහා මෙහා සැරිසරන විට අත් වැරදීමකින් සිදුවන ටච් වීමකින් පවා අසභ්‍ය වෙබි පිටු හෝ වීඩියෝ ඕනෑ තරම් විවෘත විය හැකිය. එපමණක් නොව, නිරන්තරයෙන් දරුවා තාක්ෂණික ක්‍රියාකාරකම්වල නිරතවීම ඔවුන්ගේ කායික සහ මානසික වර්ධනයට පවා සෘණාත්මක බලපෑමක් සිදු කරනු ලබන බව නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින්ද ‍හෙළි වී ඇත. එහිදී  ඇස් පෙනීම දුර්වල විම, මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය අක්‍රීය විම ආදී අවශේෂ බලපෑම්ද සිදුවීමට ඉඩ ඇත.මන්ද වත්මන් දරුවන්ගේ තාක්ෂණික ඥානය දෙමව්පියන්ගේ දැනුමට වඩා අභිබවා යන බැවින් ඕනෑම දෙයක් දෙමව්පියන්ගෙන් වසන් කරන්නට දරුවන්ට හැකියාව ඇති නිසා එවන් අවස්ථා දරුවන්ට ද නොදැනෙන ලෙස මගහැරීමට නම් දෙමව්පියන්ගේ උපක්‍රමශීලී බව අත්‍යාවශ්‍යය වේ.



කෙසේ වුවද කකුළු අම්මා ඇදේට ගමන් කරමින් දරුවන්ට කෙලින් ගමන් කරන්නට උපදෙස් දෙන්නා සේ දිවා රෑ නොමැතිව තමා තාක්ෂණික උන්මාදයෙන් හැසිරෙමින් දරුවන්ට උපදෙස් දීමෙන් ඵලක් නොමැති බව මතකයේ තබාගත යුතුය. විහශ්ෂයෙන් කුඩා දරුවන් ඇසුරේ සිටියදී තමන් ජංගම දුරකතන භාවිතයේ යෙදිය යුතු පිළිවෙල පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුමය. තම දරුවන් සාර්ථක පුරවැසියන් සේ රටට දැයට දායාද කිරීමට නම් ඔවුන්ව පාසල් අධ්‍යාපනය ලබා දෙනවා මෙන්ම  ක්‍රීඩාව, දහම් අධ්‍යාපනය ආදිය ද යහමින් ලබාදී කායික සහ ආධ්‍යාත්මික ගුණ වගාවන්ගෙන් ද පෝෂණය කිරීම දෙමව්පියන්ගේ පරම වගකීමකි.




අප මීළඟට නූතන තරුණ පරපුරෙහි නවතම උන්මාදය වී ඇති අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිලිබඳව අවධානය යොමු කරමු. වර්තමානය වන විට බොහෝමයක් වෙබ් අඩවි ඕපාදූප, බොරු ආරංචි ආදීයට නවාතැන්පලක් වෙමින් යාවත්කාලීන වනු ලබයි. අනෙක් අතට ඒවා අශ්ශීල පින්තූරවලින් පිරි කාමුක හැඟීම්වලට පිරි දඩබිමක් වී ඇත. ඒවා බහුතරයක් වැදගත්කමක් ඇති තොරතුරුවලින් ග්‍රාහකයා පෝෂණය කිරීමට කටයුතු නොකරයි. එනිසා ඉන් සමාජ ප්‍රගමනයට නොව සමාජ පිරිහීමකට මග පෙන්වීම සිදුකරන බව පෙනෙයි. විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබි අඩවි නිසා ජීවිතය අහිමිකර ගත් තරුණ ජීවිත බොහෝමයක් ඇත. පාර තොටේදී හමුවූවාට මුහුණක් නොබලා අන්අය සමඟ වචනය කතා නොකරන අය පවා මුහුණුපොතේ මිතුරු හවුල් සිය ගණනක් හා එක්ව කතාබස් කරයි. එම නිසාම වසර දහයක් වැනි කෙටි කාල පරාසයක් තුළ මුහුණුපොත තරම් සමස්ත ලෝකය පුරා ම මේ සා ජනතා ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වූ වෙනත් මාධ්‍ය ජාලයක් බිහි වී නොමැති තරම්ය.



සන්නිවේදන මාධ්‍ය  ලෙසින් රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ පුවත්පත්, සඟරා ආදිය අප හඳුනා ගන්නේ එක් පුද්ගලයෙකුගේ අදහස් බහුතරයක් වෙත ගෙන යන මාධ්‍යයක් ලෙසිනි. එහෙත් දැන් සමාජ ජාල භාවිතය හරහා බහුතරයකගේ අදහස් බහුතර පිරිසක් වෙත ඉක්මනින් ළඟා වෙයි. එ් ළඟා වීම ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, අසම්මතය ආදී සියල්ලටම පහසුවෙන් ළඟාවිය හැකි සේ සැකසෙයි. එසේම සමාජ අවභාවිතයන් මතුකර දැක්වීම තුලින් බොහෝදෙනා ඒවා අනුකරණයට ද පෙළඹීම මේ හරහා අතිශයින් සිදුවන බව පෙනේ. විශේෂයෙන් මෙම සමාජ ජාලා වෙබ් අඩවි තාරුණ්‍යයේ හද සන්තානයටම ආමන්ත්‍රණය කිරීමට සමත්ය.


එහි නිතැතින් රජ වන කාඩ්බෝඩ් වීරයන් තම පරමාදර්ශී චරිත බවට පත්කර ගැනීමටද අවඥාසහගත ක්‍රියාවන් හපන්කම් මෙන්ම සිය අභියෝග අභිමුව හොඳම විසඳුම් ලෙස දැකීමටද ‍තරම් නූතන තරුණ පරපුර මන්ද මානසිකත්වයකින් වෙත තල්ලු වීම මේ හරහා නිරායාසයෙන්ම සිදුවීම සැබවින්ම සෝචනීය තත්වයකි.

මෑත කාලීනව සිදු වූ දුම්රියට බෙල්ල තැබීම, තම පෙම්වතිය දරුණු ලෙස ඝාතනයට ලක් කිරීම ආදී සිද්ධීන් පිළිලයක් සේ එක දිගට පැතිර යමින් සිදු වන්නට වූයේ  ‍මාධ්‍යන් මඟින් මෙලෙස හුවා දක්වන සිද්ධීන්ට ප්‍රතික්‍රියාවක් වශයෙනි. මෙම තත්වය හමුවේ තරුණියන්ට සිදු වන බලපෑම දරුණුය. එනිසා ‍නව මාධය භාවිතයේදී තරුණියන් වඩාත් විමසුම්ශීලී විය යුතුය. විශේෂයෙන් ෆේස්බුක් ආදරවන්තයන් ඇසුරු කිරීමේදී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුය. එහිදී සිය පෞද්ගලික තොරතුරු, ඡායාරූප ආදිය හුවමාරු කිරීමේදී හදවතට නොව බුද්ධියට මුල්තැන දිය යුතුය. අන්තර්ජාලය යනු, ශාන්තුවරයන්ගේ නවාතැන්පළක් නොවන වගත්  එ් තුළ නොයෙක් මානසික මට්ටම් තිබෙන, නොයෙක් අරමුණු සහිත පිරිස් සැරිසරන බවත් තරයේ මතක තබාගත යුතුය. තම පුද්ගලිකත්වය තවකෙකුට තුරුම්පුවක් කර ගැන්මට ඉඩ ‍නොතැබිය යුතු බව සිහියේ තබාගත යුතුයි.  සිදු වූ සිද්ධීන් ගණනාවක අගමුල සොයා යාමේදී සිදුව ඇත්තේ තමා රැවටිලිකාරයන්ට හසු වූ බව දැනගත් පසු හෝ  සිය පෙම් සබඳතා දෙදරා ගිය පසු නැවතත් දෙමවිපියන්ට, සමාජයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තමා අසා දැක ඇති  මෙවන් තීරණ  ගැනීමට පෙළඹීමයි.


නව මාධ්‍ය භාවිතය හරහා සිදු වන මෙම අනිටු ප්‍රතිඵල මඟින්  සිදුවන ඛේදනීය තත්වයන් පාලනයට ස්වයං සංවරය මිස මෙයට ගත හැකි වෙනත් විසඳුමක් නැත. තාක්ෂණයේ පවතින දියුණු තියුණු භාවය නිසා එය වළක්වන්නට හෝ තහනම් කොට නවතා දමන්නට හැකියාවක් නැත. අනෙක් අතට එය මානව අයිතිවාසිකමකි. අන්තර්ජාලයට අයිතිකරුවෙක් නොමැති බැවින් එය නීති පනවා යටපත් කිරීමටද ඉඩකඩක් නොමැත. සමාජවාදී රාමුවට හා ආර්ථිකයට එල්ල වන බලපෑම් මත චීනයත්, ආගමික මතවාදයන්ට හානි වීමට ඇති ඉඩ මත ඉරානය, සිරියාව හා පාකිස්ථානය වැනි රටවලූත් ෆේස්බුක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. අප රටේද එවන්  ක්‍රියාමාර්ග ගත හැකි වුවත් මේ සඳහා ඇති සුදුසුම විකල්පය වන්නේ ස්වයං සංවරයට, ස්වයං විනයට මුල් තැන දී මේ සමාජ මාධ්‍ය භාවිතයට හුරුකරවීමට ජනතාව දැනුවත් කිරීමයි.

විශේෂයෙන් දෙමව්පියන් සිය දරුවන්ගේ මාධ්‍ය භාවිත ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයකින්, මෙන් අවදියෙන්ද සිටිය යුතු වේ. එසේ නැතහොත් ඔබත් නොදැනුවත්ව ඔබේ දරුවා අයහපතෙහි යෙදීමට අවකාශය ඕනෑතරම් ය. සිදු වූ දෑ ආදර්ශයට ගෙන හැඩගැසෙනවා මිස දෙයක් සිදු වූවාට පසුව ක්‍රියාත්මක වීමෙන් ඵලක් නැත. එනිසා ආදරණීය දෙමව්පියනි, නිතැතින් අවදියෙන් සිටින්න. යෞවන යෞවනියනි, බුද්ධියෙන් සිය නිදහස අන්තර්ජාලය තුළ භාවිතයට ගන්න. එමඟින් අවශ්‍ය දේ පමණක් ගෙන අනවශ්‍ය දෑ ඔබ තුළින් ඉවත් කර දැමීමට වගබලා ගන්න. අන්තර්ජාලය ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි ඔබටත් නොදැනීම ඔබගේ විනාශයේ දොරගුලු විවෘත කළ හැකිය. කෙටියෙන්ම කිවහොත් විශ්ව දැනුම ඔබේ දෝතට රැගෙන ආවත් බුද්ධියෙන් භාවිත නොකළහොත් අන්තර්ජාලය මාරාන්තිකය. එනිසා අන්තර්ජාලයට අවැසි අයුරින් අප නොව අපට සුදුසු පරිදිදෙන් අන්තර්ජාලය භාවිතා කළ යුතු වන්නේය.




මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න

Wednesday, June 21, 2017

අරගලය

දුගී දුප්පත්
පැල් වලින් මිස
රජ සිටු මැදුරු
වලින් බට
දරුවන් නොවේමැයි
අයිතිය ඉල්ලා
මහ මග බැස්සේ....
අද හෙට පමණ නොව
අනාගත නුඹ
සැවොම වෙනුවෙනි
මේ හඩ නැගුවේ...
දෑස් හැර බලනු මැන
ගෙවී ගිය කැඩී ගිය
රබර් පාවහන් මිස
තිබේදැයි එකක් හෝ
රනින් නිම කල
පාවහන් යුගලයක්...

මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න

Thursday, June 15, 2017

ශ්‍රී ලංකාවේ ඇති අත්භූත ස්ථාන




දානිගල කන්ද 



  • අරලගංවිලමාදුරු ඔය මිටියාවතන්  අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිතය. 
  • පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැළකෙන බැවින් මෙම පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි. 
  • කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙහිදී අත්භූත භූ විෂමතාවයක් දැකගත හැකි නමුත් මේ පිළිබඳව විධිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ මේ වන තෙක් සිදුකර නොමැත.
  • වන පෙත මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම දක්නට ලැබෙයි. සැතපෙන පිළිමයේ සිරස නැත. නිදන් හොරුන්ට එය බිලිව ඇත.
  • අතිශය සුන්දර වන පෙත මැදින් වැටී ඇති ගිරි දුර්ගය ඔස්සේ සැදුම්ලත් මෙම ස්ථානය කෙසේ නිර්මාණය වූවක් දැයි තවමත් මනාවිසඳුනු අභිරහසකි.


නාලන්දා ගෙඩිගේ




  • මාතලේ ප්‍රදේශයේ ඉදිකර  ඇති මෙය දිවයිනේ මධ්‍ය ලක්ෂයේ පිහිටා ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
  • පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ එක් ලක්ෂණයක් වූ ගෙඩිගේ හෙවත් ගිංජිකාවත්ත සහිත වහළ ක‍්‍රමය මෙම ගෙඩිගේ සඳහා පියස්ස කොට ගෙන ඇත. 
  • සූර්යයාගෙන් ලැබෙන ශක්තිය අවශෝෂණය කරගත හැකි අපූරු වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට මෙය නිමවා තිබීම සුවිශේෂීත්වයකි.
  • අනුරාධපුරය යුගයට අයත් නිර්මාණයක් බවට විශ්වාස කරන මෙහි ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගුරු කරගනිමින්  නිර්මාණයකොට තිබේ.
  • ගල්පුවරු වලින් නිමවූ  උස් වේදිකාවක් මත පිහිට වූ මෙම ගෘහය දකුණු ඉන්දිය පල්ලව සම්ප‍්‍රදායට නෑකම් ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගුරුකොට නිමැවූවකි.
  • එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.
  • කෝවිලක ස්වරූපයෙන්ම  නිර්මාණය කර ඇති නාලන්ද ගෙඩිගේ ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඊට අමතරව  හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ. 
  • මේ ආසන්නයේ ඉදිකෙරුණු ජලාශය නිසා නාලන්දා ගෙඩිගේ මුල් පිහිටීම වර්තමානය වන විට වෙනස් වී ඇත.


තිවංක පිළිමගෙය





  • තොරතුරු අනුව පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැගිල්ල මෙය වේ.
  • ක්‍රි ව. 1153-1186 කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් සාදා මහා සංඝයා වෙත පිරි නැමූ බව කියවේ.
  • මහල් තුනකින් සමන්විත වූ මෙය උසින් අඩි 133ක් වන අතර පලල අඩි 67.6ක් වේ. එසේම ගඩොල් බිත්තියක ඝනකම අඩි 7-12 අතර වේ.
  • මෙහි ඇතුලත  ඇති කැටයම් වලත්  ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.
  • මෙහි බාහිර ස්වරූපය හින්දු කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කරමින් සකස් කර ඇතැයි සිතිය හැක. 
  • ගඩොල් මත බදාමයෙන් සැකසූ විවිධ දේව රූප, වාමන රූප මෙන්ම සිංහ රූපද දැක ගත හැකිය.
  • වසර 900ක කාලයක් පුරාවට ස්වභාදහමේ විවිධ අකාරුණිකකම් මෙන්ම ඉන්දීය චෝල, මාග වැනි ආක්‍රමණ නිසා ද මෙහි පිලිම ගෙය විනාශයට පත්ව ඇත.
  • කෙසේ නමුත් එකල මෙම නිර්මාණය කරන්නට ඔවුන් කොයිතරම් වෙහෙසක් දරන්නට ඇත්දයි සිතිය නොහැකි තරම්ය.


ලකේගල කන්ද



  • ජනප්‍රවාදයන්ට අනුව මෙය රාවණ යුගයේ ස්වභාවික පිරමීඩයක් ලෙස භාවිත කළ බවද රාවණ රජුගේ දඩුමොණරය ගුවන් ගත කල ස්ථානය බවට ද මතයක් ඇත.
  • ලකේගල බලන බලන විට වෙනස් වන කළු ගලක් බව කියවේ. එදෙස එක් වරක් බලා අඩි දහයක් පමණ ඉදිරියට ගොස් නැවතත් හැරී බැලූ විට එහි තිබූ හැඩය වෙනස්ව දිස් වෙයි.
  • මෙලෙස එකල රජවරුන්ගේ යුධ උපක්‍රමයක් වූ ස්වභාවික මායා ක්‍රමය මෙහි ගැබ් වූ නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇත. 
  • එසේම ලකේගල කදු මුදුනේ රාවනා රජුගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ලැබේ.‍
  • මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. 
  • එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. 
  • පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.


උස්සන්ගොඩ



  • උස්සන්ගොඩ ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. මෙය අභය භූමියක් සේ නම් කර ඇති අතර හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි දුර්ලභ  පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස සළකන ප‍්‍රදේශයකි.
  • විද්‍යාඥයින්ගේ මතය වන්නේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි.
  • මෙහි ඇති මදටිය ඇට මෙන් රතු  පැහැයෙන් යුතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකිය. උල්කාපාතයක්‌ පිපිරීමේ දී පිට වන අධික තාපය මඟින් පාෂාණ උණු වී ගොස්‌ මෙසේ සිදුව ඇති බව මෙම විද්‍යාඥයින්ගේ මතයයි. 
  • අද වන විටත් මෙම භූමිය තුල ශාක නොවැඩෙන අතර තෘණ විශේෂයක්‌ අතරින් පතර තැන් කිහිපයක පවතින කුඩා පඳුරු කිහිපයක්‌ හැර වෙනත් ශාකයක් නොමැති තරම්ය.
  • පිටසක්වළ ජීවීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා ගෙතී ඇති ජනකතා අතර හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසටත් හඳුන්වා දෙනවා.
  • දුර්ලභ ඖෂධ වර්ග රැසක් දැකගත හැකි මෙම භූමිය ශ්‍රී ලංකාවේ 21 වැනි ජාතික උද්‍යානය ලෙස නම්කොට ඇත.
  • උද්‍යානයේ දකුණු මායිම් ප්‍රදේශය තද බෑවුම් සහිත වන අතර ගල්පර වලින්ද  යුක්‌තය. එසේ විහිදී යන බෑවුම අවසානයේ මනරම් සාගර පරිසර පද්ධතියකට විවර වේ.


රූමස්සල කන්ද




  • ගාල්ල නගරය ආසන්නයේ ඇති අත්භූත කතා ‍රැසකට සම්බන්ධ  මෙම කන්ද ආශ්‍රීතව ඉතා දුර්ලභ ඖෂධ ශාක වර්ග රාශියක් හමුවී ඇත.
  • නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශ ලෙස සළකයි.
  • ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත්තේ මෙම කන්ද  අවුරුදු දහස් ගණනකට පෙර වැටුණු උල්කාපාතයක කොටසක් බවයි. 
  • ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙය හිමාලයේ කොටසක් බවයි.දුර්ලභ ගණයේ ඖෂධ වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් එහි පැවතීමෙන් එය හනුමාන් ගෙන ගිය ඖෂධ වනාන්තරයෙන් කැඩී වැටුණ කෑල්ල ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
  • කෙසේ වුවද රූමස්සල කඳු වැටිය මෙම ස්ථානයට ආගන්තුකව ලැබුණු එකක් බව ඉතිහාසයද කියයි. එයට හොඳම නිගමනය දක්වන්නේ රාමායනයයි.
  • මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය විසින්  අභය භූමියක්‌ බවට රූමස්‌සල පත්කර ඇති අතර හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක් වේ.
  • මෙම කඳු මුදුනේ පලතුරු ගස් වලින් අනූන පලතුරු  උයන් ඇති අතර වසර පුරා ඒවායේ ඉදුණු පලතුරු පවතී. එහි යන කෙනෙකුට ඕනෑතරම් පලතුරු කෑ හැකිය නමුත්  ආපසු යන විට ගෙන යා නොහැකි බවද කියවේ.
  • මෙම කඳු වැටිය පිළිබඳ ජනප්‍රවාද රාශියක්ම අති අතර ඉන් ප්‍රධාන වන්නේ රාවණා රජුගේ කථාවයි. එනම් හනුමන්තාගේ අත්වැරුද්දකින් හිමාල කන්දේ කොටසක් වැටී රූමස්සල කන්ද ලෙසට නිර්මාණය වූ බවටයි.


දිඹුලාගල රජමහා විහාරය



  • පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හදුන්වා ඇත. 
  • මෙහි ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. එනම් විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණ තම නෑදෑයන් ජීවත් වූයේ මෙම ප්‍රදේශයේ බව ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි.
  • මෙම විහාරයට අයත් දිඹුලාගල කඳු වලල්ලෙහි ලෙන් කිහිපයක්ම  පිහිටන අතර ඒවායේ කටාරම් වලට ඉහලින් බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත.
  • පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් දිඹුලාගල පර්වතය මුදුනෙහි පිහිටා තිබූබව ගවේෂන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
  • රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට දැක ගන්නට ලැබෙන බවත් සඳහන් වේ.



*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*





ක්ෂිතිජ ඉම


ඳුල නුඹ,
ළඟයි මට
සයුරට රළ සේම..
තුට නුඹ,
දුරයි මට
ගුවනට කතර සේම..
යුර හා ගුවන
නුඹලා 
එක් වුවද
පෙනෙන්නේ අපට
ක්ෂිතිජ ඉම 
නොවේමද..
පෙම්වත, 
ඉඳින් සැමදා 
අපේ හමුවීම‍
දිනෙක අරුමයක්ම
නොවෙද...

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*


Wednesday, June 14, 2017

නිදහස සිත් සේ විඳින්න අපූරු තෝතැන්නක්...



නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට අපි හැමෝම කැමතියි මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් නිදහසේ ඉන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්. ඒක ගතට වගේම සිතටත් සුවයක්. ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය සඳහා ඔසුවක්. එහෙම පුරුද්දක් තියෙන අයට යන්න අපූරු තැනක් කොළඹට ආසන්නයේම දැන් විවෘත වෙලා තිබෙනවා. ඒ තමයි සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ. ඉතිං ඔබට මේ කර්කෂ සමාජ වටපිටාවේ ඉන්න ඔබට ඒ ඒකාකරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් නිදහසේ සැනසීමේ ඉන්න තැනක් ගැන ඔබට තොරතුරු ගෙන එක මටත් පිනක් කියලා හිතලා මේ උද්‍යානයේ විස්තර ටිකක් ඔබට සැළ කරන්නම්. විැශ්ෂයෙන් කොළඹ අවට උදය වරුවේ කාර්යාලයේ වායු සමනය යටට වී සිටින, රාත්‍රියේදී නිවසේ කොන්ක්‍රීට් වනාන්තරවලට වී එහි පහස ලබන ඔබට මෙය කදිම පණිවිඩයක් වේවි.


බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මෙම සීතාවක උද්භිද උද්‍යානය දැනට වසර දෙකකට පමණ ඉහතදී  විවෘත වූවක්. මේ නිසා මේ ගැන බහුතරයක් දෙනා නොදැනුවත්. පරිසරයේ සුන්දරත්වය විඳින්න ,මල් බලන්න, සොබා සිරි නරඹන්න අපි නුවරඑළියට හග්ගල‍ට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනි. ඒත් දැන් අපිට පුංචි විකල්ප ස්ථානයක් තියෙනවා. හග්ගල, පේරාදෙනිය තරමටම නැතිවුවත් ටිකක් හරි ඒ හා සමාන. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මෙය සැළකිය හැකියි.

ශ්‍රී ලංකාවේ පළමුවැනි උද්භිද උද්‍යානය වන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයයි. එය 1821 වසරේදී ආරම්භ විය. දෙවැන්න වන්නේ හග්ගල පිහිටි උද්භිද උද්‍යානයයි. එය 1861 වසරේදී ඇරැඹී ඇත. තෙවැන්න වන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. එය 1876 වර්ෂයේ දී ආරම්භ කර තිබේ. මිරිජ්ජවිල පිහිටි සිව්වැනි උද්භිද උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ 2013 වසරේ දී ය. ඒ අනුව 2015 වසරේ මාර්තු 25 වැනි දින ඇරැඹූ සීතාවක පිහිටි තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.


මෙලෙස ශ්‍රී ලංකාවේ පස්වැනි උද්භිද උද්‍යානය ලෙස ඉතිහාසයට එක්වූ සීතාවක උද්භිද උද්‍යානය , පිවිසුම් දොරටුවේ සිටම මවන්නේ අපූර්ව චමත්කාරයකි. පසෙකින් පස්පියුමින් සුසැදි විලකි. හිරු කිරණ වැදී බැබළෙන නිල්වන් දිය දහර ,විචිත්‍රවත් ය. රොන් බී මත්වූ බිඟුන්ගේ නද විල් තෙර පුරා සිසාරා යයි. බිම් ඇතිරුම් ගල්වලින් අලංකෘත වු උද්‍යානයට පිවිසීමට ඇති මාවත, මුළු උද්‍යානයටම අපූර්ව සුන්දරත්වයක් එක්කරමින් සිටී. ඈතින් පෙනෙන නිල්ල පිරි ගහකොළ, ස්වභාදම් මෑණියගේ අපූර්ව දායාදයක් බඳු ය. ගත සිත ප්‍රබෝධවත් කරමින් හමාඑන මදනළ, අව් රශ්මිය මදක් අවම කිරීමට සමත්ය.


උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූ දර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.


උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකිය.


ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වෙලා තියෙනවා.  මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ. පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසා තිබීම සුවිශේෂීත්වයක්. එබැවින් මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් සේ සැළකිය නොහැක. එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයලා තිබේ.

මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.


උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගන්නවා . පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාල වර්ග‍යේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයක් සේ සැළකිය හැක. මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.



අලුතින් ම ඉදි වූ උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවී නොමැති වීම දුර්වලතාවයක් සේ සැළකිය හැකිය. කෙසේ වුවද අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පුළුවන.



උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වන තෙක් නිකුත් කරයි.

036-379-5295 යන දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Tuesday, June 13, 2017

දෛවයේ සරදම්


පෙරදින මගෙ ලොව
උණුසුම විඳි ඇය
අද ඔහු අත ගෙන
මනමාලිය ලෙස
කදිමට හිනැහෙන්නේ..
කෙලෙසද කිව මැන
ඇරයුම පිළිගෙන‍
මිතුරෙකු වී ඔබ
වෙත එන්නේ..
මගේ සුභ පැතුමන්
ඔබ වෙත ගෙන එන්නේ..
නුඹ ගැන මතකය
සිත යට ගුලි කර
දෛවයෙ සරදම්
මේ ලෙස විඳ ගන්නේ...


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Friday, June 9, 2017

නිලඹර හැඩ මවන තරු රටා

 
අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය. ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඒවා ඉතා ආකර්ශණීය ලෙස පොළොවේ සිට නරඹන අප හට දිස් වේ. ආකාශ වස්තූන් සිතියම්ගත කිරීමේ පහසුව සඳහා තාරකා රටා හඳුන්වා දීම පැරණි නාවිකයන් ගොවීන් මෙන්ම තාරකා විද්‍යාඥයින්ගේද නිරීක්ෂණයන්ට අනුව සිදු වී ඇත. මෙහි ආරම්භය මින් වසර 6000කට පමණ පෙර සිදු වූ බව මෙසපොතේමියා ශිෂටාචාරයේ සාක්ෂිවලට අනුව සපථ වේ. විවිධ ජාතීන් විසින් තරු රටා සිතියම්කොට විසිතුරු නම් ලබා දුන්නද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය නොවිණි. විශේෂයෙන්ම දකුණු භාගයේ වෙසෙන්නන්ට උත්තර ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. උතුරුබාගයේ වෙසෙන්නන්ට දරුණු ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. මේ හේතුවෙන් සමහර තරු කණ්ඩායම් ඔවුනොවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහුණි. පැරැන්නන්ගේ දෘෂටියෙන් ගිලිහුණු තරු පොකුරුද නිරීක්ෂණයකොට දැනට පවතින නවතම තරු රටා ඉදිරිපත් කරන ලද්දේ 16 වන සියවසයේදීය.  දැනට පවතින තරු රටා 88ක් සහිත සිතියම නිර්මාණය වූයේ 1922දීය. එය අන්තර්ජාතික තරකා විද්‍යා සංගමය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී. 

දඩයක්කරු




තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක. පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මෙමඟින් මැනවින් නිරූපනය කරයි. උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැකිය. දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් ද සමන්විත වේ. මීට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී. මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එය අප සුර්යාටත් වඩා අතිශයින් විශාල වේ. Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යා මෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි. ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තාරකා ත්‍රිත්වය මෙහි විශේෂත්වයක් උසුලයි. 

මහා වලසා



මෙය මහා වලසා යන නාමයෙන්  හඳුන්වන්නේ  තරු රටාව හා සම්බන්ධ පුරාවෘතයකට අනුවය. චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද, ඉන්දියාවේ නගුල ලෙසින්ද, රුසියාවේදී මහවලසා ලෙසින්ද, හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය. මෙය ආදි ග්‍රීක ජාතිකයන්ගේ පුරාවෘතයකට අනුව පටබැඳි නමක් ලෙසද කියැවේ.

සිංහ



රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.

හත්දින්නත් තරු



වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප‍්‍රකටය.) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. ඒ අනුව හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන්  අසීරුය . ඒ නිසම දෝ මේ තරු 7 ගණන්  අසුභ යයිද මතයක් ඇත . එය පිහිටියේ (ගොනාගේ ඇස යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටෝරස් (Taurus - වෘෂභ) රාශීයේ දීප්තිමත්ම තරුව වන) ඇල්ඩිබැරන් තාරකාවේ සිට පූර්ණ චන්ද්‍රයන් 20ක පමණ පළලක් ඇති දුරකින්ය. ප්ලෙයාඩේස් තරු පොකුරේ දීප්ති‍මත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා (the Seven Sisters) සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි. මෙකී තරුපොකුර අනාදිමත් කාලයක සිට වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබීය. ජපානයේදී සුබාරු යන නමද ඒ අතරවේ.

මිථුන



Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි.


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*


Thursday, June 8, 2017

සිරිලක පොසොන් උත්සවය


ශ්‍රී ලංකා මාතෘ භූමිය ගුණදහමින්ද  බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමග සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාය.  මේ උතුම් සංසිද්ධිය මුල්කරගෙන පුනරුප්පත්තියකට පත්වූ සිංහල ජාතිය බෞද්ධ ශිෂ්ටාචාරයෙන් , සංස්කෘතියෙන් , සදාචාරයෙන්, චර්යාධර්මයෙන්, ප්‍රතිපෝෂණය වූහ. ඒ උතුම් පරිවර්තනය සිදු වූ දිනය සිහි කරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ උවැසි උවැසියන් පොසොන් පොහෝ දිනය උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබයි.

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ  පූර්ණ උපදෙස් පරිදි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන්  සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මධර විනයධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා ආසියානු රටවල් නවයකට පිටත් කර හැරීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරණය භාර වූ  මිහිඳු මාහිමියෝ ලංකද්වීපයෙහි ඊට සුදුසු කාලය එළඹ ඇත්දැයි විමසා බැලූහ.

නමුත් එවක ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් පුත් දේවානම්පියතිස්ස රාජාභිෂේකය ලබන තුරු බලා සිටියහ. මෙය  මිහිඳු මා හිමියන්ගේ සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවක් බව පැහැදිලිය.  ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව සැලසුම් සහගත බවේ ප්‍රතිමූර්තියක්‌ ලෙස හැඳින්වීම සර්ව සාධාරණය. උන්වහන්සේ තුළ පැවතියා වූ මෙම සැලසුම් සහගතභාවය ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක්‌ වූ බව නිසැකය.

කල් යල් බලා ක්‍රමයෙන් දේවානම්පියතිස්ස රජු රජ වීමත් සමග මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහතුන්වහන්සේලා  පස් නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමී බව ලැබ සිටි  භණ්ඩුක උපාසකතුමාත් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ පින්බර ලංකද්වීපයට වැඩම කළ සේක. අන් රටවලට වඩා ශ්‍රී ලංකාවට එවන ලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව මෙහිදී පැහැදිලිය. එනම් මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය  සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යාගේ පුතණුවන්  වූ අතර සුමන සාමණේරයන් වහන්සේ ඔහුගේ නැගෙණිය වූ සංඝමිත්තාවන්ගේ‍ පුත්‍රයා ද විය. එසේම භණ්ඩුක උපාසක යනු, මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වන බවද  සඳහන් වේ. මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.

අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබ සිටි  මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කරනු ලැබූයේ   අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන්, භාෂාවෙන්, කලාවෙන්, සාහිත්‍යයෙන් දුගී බවට  පත්ව සිටි යුගයකය. ඉන් අප මුදවා ලංකාව ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීමට මිහිඳු හිමියන්ට හැකියාව ලැබිණි.


ඒ අනුව මහින්දාගමනයත් සමඟ ලාංකික ජනතාව ශිෂ්ටාචාරාත්මක  දියුණුවක්‌ කරා ගමන් කළේය. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ප්‍රවීණයන් වීමට අපට හැකියාව ලැබිණි. අනුරාධපුරයෙහි වටදාගෙය, නගර නිර්මාණ, චෛත්‍ය නිර්මාණ දෙස බැලූ විට එය මනාව සපථ වේ. රුවන්මැලි සෑ රජුන්ගේ මනෝහර බව, එහි විද්‍යාමාන වන ඉංජිනේරු තාක්ෂෂල්ණය නූතන ලෝකයේ තිබේ දැයි සැක සහිතය. සමාධි බුදුපිළිමය, පොළොන්නරුවේ ගල් විහාරය ද ඊට නොදෙවෙනිය. එවැන් ආශ්චර්යමත් නිර්මාණ ලෝකයේ කොතැනක හෝ තිබේ දැයි විටෙක සිතේ. එපමණක් නොව, කෘෂිකර්මය සඳහා නවීන උපකරණ නිර්මාණයටද උප්පත්තියෙන් තිබූ ශක්‍යතාවයන් ඔප මට්ටම් වීමට ද, ලේඛන කලාවෙහිද අපූර්වත්වයක්‌ පෙන්නුම් කළ හෙළයා වෛද්‍ය විද්‍යාවේද බොහෝ හාස්‌කම් කිරීමට සමත් නවීන උපක්‍රම ඉගෙනීම ආදීය සඳහා මංපෙත් විවර වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගය.

මෙම ධර්මදූත පිරිස මෙරටට වැඩම වන විට එදින  ලක්දිව නැකත් ක්‍රීඩා උත්සවයක්  විය. හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටිනු දුටු තිස්ස රජුට පසු කාලයේ දී චේතිය පබ්බත නමින් හැඳින්වූ  මිස්සක පව්ව මත වැඩ සිටි මිහිඳු හිමියන් ඇතුළු  දූත පිරිස අමතා සිටියහ.මෙය සවන් වැකුණු රජු වහා සිය  දඩයම නවතා  තොරතුරු විමසූ කල්හි  මිහිඳු හිමි මෙසේ වදාරා සිටි සේක.                                          
                          "සමණාමයං මහාරාජ
                            ධම්මරාජස්‌ස සාවකා
                            තමේව අනුකම්පාය
                            ජම්බුදීපා ඉධාගතා"
රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් දහම් පණිවුඩය රැගෙන  පිරිසක් ලංකද්වීපයට පැමිණෙන බව කලින් දන්වා  තිබූ හෙයින් මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත. ඇතිවූ සුහද සාකච්ඡාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ මාලාව ද ඉතා වැදගත්ය.

මේ ආකාරයට පෑතිස් රජුන් ධර්මාවබෝධය සඳහා සුදුසු තත්වයක සිටින බව වටහා ගත් මිහිඳු හිමියන් සැබවින්ම භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යැයි  සිතා  ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ. "මිනිසා හදා රට ගොඩනඟමු" යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජගත වන්නේ මේ සිද්ධියෙන් පසු විය හැකිය. මන්ද  ධර්ම රාජ්‍යක මූලික අත්තිවාරම වන්නේ  පංචශීලය වන බැවිනි. බුදුදහම අවිහිංසාවත් ප්‍රතිපදාවකි. එමගින් හිංසාව එකහෙලා ප්‍රතික්ෂේප කරයි. මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට එය මනා සේ ඉඳුරාම දේශනා කළ සේක.  ඒ,
      "මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි"
යනුවෙනි.  මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍යමාන  වේ.


මහින්දාගමනයට පෙර ලංකාවේ ජනයා අතර ඉතා දුශ්ශීල, පවිටු චර්යා කොතෙකුත් පැවත ඇත.  සංස්කෘතිය සභ්‍යත්වය ආදී  කිසිවකට පිළිගැනීමක් නොතිබිණ.. හොඳ නරක චර්යා ධර්ම ආදිය සමාජයේ පැවත නැත.  මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පා තැබූ මොහොතේම ලාංකිකයාට ලබාදුන් අවවාදය මනුෂ්‍යයා  කුරිරු  ප්‍රාණඝාතයෙන් මුදා ගත යුතු බවයි. එය විටෙක අහස පොලොව පවා නුහුලයි. පසුගිය කාලයේ නේපාලයේ ලක්ෂ ගණනක සත්ත්ව බිලි පූජා පවත්වා ඒ කාලවකවානුව තුළදීම දරුණු භූමිකම්පාවක් වීම මෙයට කදිම උදාහරණයකි. එනිසා එය කොතෙක්‌ දුරට අප රට තුල සාර්ථක වී ඇත්දැයි තම හෘද සාක්ෂියයෙන් විමසිය යුතුය.

මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසූ බවත් යහපත අයහපත පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඒ කිසිම දහමකින් පෙන්වාදී නොතිබුණු බවත් සිතා ගැනීමට තරම් ඒ ඒ ආගම් ගැන විමසන විට පෙනේ. එසේ වී නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකීය පිරිස නැකත් ක්‍රීඩාවල නොයෙදෙනු ඇත.  මෙකී තත්වයෙන් සමස්ත ලක්වාසීන් මුදවා සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීමේ පළමු පියවර මෙම  පොසොන් පොහෝ  දින සිදු වූ මහින්දාගමනයත් සමඟ සිදුව ඇත.

කෙසේ වුවද පෑතිස් නිරිඳුන්ගේ උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ  පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය  දේශනා කළ සේක. මෙය තවත් වැදගත්කමකින් යුක්තය. එනම්,  චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ දේශනාව ද වීමයි. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය ද මිහිඳු හිමියන් විසින්ම  දේශනා කළ සේක. චූල්ල හත්ථි පදෝපම සූත්‍රය මගින් විස්තර වන්නේ  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, උන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිධ රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් යනාදී කරුණුය.

 ප්‍රථමයෙන් මෙරට මිස්සක පව්වට වැඩම කළ මිහිඳු හිමියන් ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය ද දේශනා කළහ. එහිදී 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් අනතුරුව රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් තවත් කාන්තාවන් දහසක් සෝවාන් විය. මේ ආකාරයට අවසානය වන විට 2500කට අධික පිරිසක් මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනාවන් මත පිහිටා මාර්ගඵල ලබා ගැනීමට සමත් විය.

තෙවන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට ''ආසීවසෝපම සූත්‍රය''ද, හතර වන දිනයේදී ''අනමතග්ගිය සංයුක්තිය'' ද දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්මාවබෝධය ලැබීය. පස්වන දිනයේදී දේශනා කරන ලද්දේ  ''ධම්ම චක්ක පවත්තන සූත්‍රය'' යි.  මෙලෙස  දින හතක් තුළදී  8500කට අධික ශ්‍රාවක පිරිසක්  මාර්ගඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි.

ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදුන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන  විට  ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

මේ ආකාරයට මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිසගේ ලංකාගමනයත් සමඟ සිදු වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ පුන්‍ය භූමියෙහි ස්ථාපනය කරමින් සිදු කළ මහා සමාජ පරිවර්තනය දෙස ගැඹුරින් විමසා  බලනවිට පොසොන් පුන් පොහෝ දිනය ලාංකික බෞද්ධ ජනයාට වෙසක් පොහොය දිනයට පමණක් දෙවැනි වන ශ්‍රේෂ්ඨ අති උතුම් දිනයක් වශයෙන් සැලකිය හැකිය. එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් වෙනත් පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු විණි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.මෙලෙස  සම්බුද්ධ ශාසනයේ මහා විප්ලවයක් මගින් මුළු මහත් ශ්‍රී ලංකා භූමියම බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළ එකී ජාතික, ආගමික විප්ලවයේ දේශීය පෙරගමන්කරු වූ තිස්ස රජුට “දේවානම්ප්‍රිය” නම් වූ  ගෞරව නාමය පිරිනැමීමට ද ධර්මාශෝක රජු කටයුතු කර ඇත.


මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මෙරටේ දී පැවිදි වූ භික්ෂූන් වහන්සේලා රට තුළ ව්‍යාප්ත කළහ. උන්වහන්සේලා රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසකවරුන් වූහ. මේ නිසා පංචශීලය මැනවින් ආරක්ෂා කරන සැදැහැවත් සමාජයක් ගොඩනැගීමට පහසු විය. බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,  ඒ අනුව යමින් බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීමත් නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය. එවකට මෞර්ය රාජ්‍යයේ  හිනිපෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරයම ද මහින්දාගමනයත් සමඟ ලක්දිවට දායාද වශයෙන් ලැබිණි.  අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු සත්ගුණවත් පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදා ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.

නමුත් වර්තමානය අතිශයින් දුක්‌මුසුය. එකී යහගුණයෙන් පිරි සමාජ ක්‍රමය මේ වන විට වලපල්ලටම තල්ලු වී දෙගුරුන් ගුරුන් නොහඳුනන කෲර සමාජයක් බවට වත්මන් සමාජය පත්ව ඇත. ස්වබාදහම් මෑණියන් පවා දැන් අපට එරෙහිව නැගී සිටිනු පෙනෙයි. මන්ද ඇයටද මෙම සිදු වන සමාජ පරිහානිය ඉවසිය නොහැක්කේය. මිහිමව් මත සිදුවන පරිසර හානිය, කුරිරු මිනිස් හා සත්ව ඝාතන විලාශය, උතුම් වූ බුදු දහමට සිදු වන විනාශය ඉවසිය දැරිය නොහැකි තරම්ය. ඇතැම් භික්ෂූන් පවා පෙනි පෙනී බුදු දහම විකෘති කරන බව පෙනෙයි. අනෙකක් නොව උතුම් රහත් බවට පත්වීම උදෙසා සහතිකපත් ලබාදීමට තරම් අගතිකාමී කාලයක් බුදු දහමට උදා වී ඇත. ධර්මානුකූල ප්‍රතිපදාවකට දරුවා හැඩගස්වන දහම් පාසල පවා දැන් අක්‍රමවත් වී ඇත. එයද විටෙක වාණිජත්වය පදනම් කරගනියි. අනෙක් අතින් විභාග මානසිකත්වයක් ඇති කරමින් දහම් පාසල් තුළද තරඟකාරීත්වයක් ඇති කරමින් දරුවන්ට එකෙකු පරයා නැගී සිටිමට හුරු කරවයි. බොහෝ දහම් පාසල් දරුවන් නොමැතිව වැසී යන තත්වයකට පත්ව ඇත. මෙහිදී පැරණි කියමනක් සිහිපත් කළ යුතුය. එනම් එක් දහම් පාසලක් වැසෙන විට හිර ගෙවල් දහයකට දොරගුළු විවෘත වීමට ඉඩ  පවතින බවයි. ඉතා සෝචනීයම කරුණ වන්නේ බුදු දහමට සිදු වන මෙකී පරිහානීන් සියල්ල අභිමුව මහානායක ස්වාමීන් වහන්සේලා ලෙස නම් දරා සිටින මේ උදෙසා යම් පියවරක්, සමාජ පෙළගැස්මත් ඇති කිරීමට බලයක් ඇති පාර්ශව පවා මුනිවත රැකීමට කටයුතු කිරීමයි.

පෙරදා අප රට සාරධර්ම පිරුණු තැනකි. යුග ගණනාවක්‌ යනතුරු එසේ විය. ඉතිහාසය එය ප්‍රත්‍යක්ෂ කරවයි. හොඳ ලොවක්‌ තනා ගැනීමට නම් රාජ්‍ය නායකයන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කළ යුතුය. අදාළ පාලන ආයතන, ගුරු දෙගුරු , භික්ෂූන්, වැඩිහිටියන්, දරුවන් ආදී සියල්ලෝම ධර්මානුකූල ප්‍රතිපදාවකට පිළිපන්  විය යුතුය.  නීතිය බලගැන්විය යුතුය. දහම් පාසල් පෝෂණය කළ යුතුය. මෙය විටෙක උඩුගම්බලා යාමක් සේ  පෙනෙයි. නමුත් මෙම උතුම් පොසොන් පෝ දා සමාජයට දිය හැකි පණිවිඩය වන්නේද එයයි.

                        ''ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී''
                    -ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කෙරේ- 


*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*






Tuesday, June 6, 2017

ඉකිබිඳුම



පාළු කතරේ සළු ඉරා
නුඹ ඇවිත් ළඟ නැවතුනා
කුරිරු දිවියේ මංමුලා
නොවී අරුනළු කැන්දුවා

සිහිනයක මා දැවටිලා 
නුඹත් සමඟින් එක්විලා 
දුරක් යන්නට මම සදා 
සිහින දැක්කා වෙහෙසිලා 

කුමර ඇයි මේ ලෙස දමා
යන්න ගියෙ මා රවටලා 
පව් පිරෙයි නුඹ හට සදා 
සෙනෙහසට මගෙ කළ නිගා

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

Thursday, June 1, 2017

පරිසර සතිය කියා දුන් පාඩම



ලෝක පරිසර දිනය යෙදී තිබෙන්නේ ජුනි 05වන දිනටය. ඒ වෙනුවෙන් මැයි මස 29 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා ලංකාවේ පරිසර සතිය නම් කර තිබුණි. මෙම සතිය තුළදී මුලු මහත් පරිසරයම එක්ව අපට මනා පණිවිඩයක් මෙන්ම මෙතක් පරිසරට කළ නොමනා ක්‍රියාකාරකම් උදෙසා අපූරු දඬුවමක් ද ලබා දුන්නේය. ප්‍රශ්ණය ඇත්තේ මුළු මහත් රටක්ම හෝ ලෝකයක්ම එක්ව කරන්නා වූ වරදකට අහිංසක මිනිසුන්ගේ සහ හයක් හතරක් නොදන්නා කිරි දරුවන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු වීමය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උද්ගත වූ ගංවතුර හා නාය නෑම් මේ වන විට අප මාතෘ භූමියේ 200කට අධික ප්‍රමාණයකගේ ජීවිත බිලි ගනිමින්, තවත් සිය ගණනකට අධික ප්‍රමාණයක් අතුරුදහන් කරමින්, ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයකට පමණ උන්හිටි තැන් අහිමි කරමින් අනාථභාවයට පත්කර හමාරය.
රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල වැසියන් මෙයින් වඩාත් පීඩාවට පත් වූ අතර කළුතර දිස්ත්‍රික්කයට මෙවන් තත්වයක් උදාවූයේ වසර හතලිහකට පමණ පසුවය. මෙය අන්තර්ජාතික මාධ්‍යවල පවා මුල් පුවතක් බවට පත්ව තිබිණි. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වන අවපීඩන තත්වයෙන් මෝසම් වැසි සක්‍රීය වීමත් සමග මෙවැනි දරුණු කාලගුණික විපර්යාස ඇති වීම සාමාන්‍ය වුවද එහි ආරම්භයේදීම මෙවැනි තත්වයක් උද්ගත වීම සැලකිය යුතු කරුණකි.

සුවහසක් පෙම්වතුන් අහසට පෙම් බැන්ඳ ද, දහසක් කවීහු අහස ගැන කවි ගී වැල් ලියූවද සිය ගණනක් වන මිනිසත්  අපගේ ජීවිත අහිමි කරන්නට තරම් අහස රුදුරු වූ බව දැන් සැබෑවකි. මෙය අප රටට පමණක් ස්වභාදම් මෑණියන් විසින් දුන් දඬුවමක් නොවේ.  පසුගිය කාලයේ ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රදේශය ගංවතුරින් යටවිණි. පැය 24ක් තුළ මිලිලීටර් 300ක පමණ වර්ෂාපතනයක් එහිදී වාර්තා වී ඇත. මධ්‍යම යුරෝපයේ ද අධික වැසි හේතුවෙන් ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. මේ ජීවිත මහා සංහාරයක් සිදු කරන්නට තරම් හේතු වූ සුවිශේෂී සිද්ධීන් කිහිපයක් පමණි. අනෙක් අතට ස්වභාදහම අප හට ලබා දෙන්නා වූ එකම දඬුවම වැස්ස හෝ ගංවතුර පමණක්ම නොවේ. ජාතික වශයෙන් විමසා බැලීමේදී පසුගිය වසරේ කැළණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසියන් ගංවතුරින් විපතට පත් විණි. කවරදාවකවත් නොවූ විරු අයුරින් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට ලක්විණි.අරණායක, බුලත්කොහුපිටිය, බුලත්සිංහල ආදී ප්‍රදේශ නාය යාමට ලක්විණි. ජාත්‍යයන්තර වශයෙන් මෙම ස්වභාවික ආපදා පිළිබඳ විමසා බැලීමේදී  පසුගිය වකවානුවේදී ඉන්දියාවේ උෂ්ණත්වය අධික වීම නිසා වැසියන් ජීවිතක්ෂයට පත්විය. ජෝර්දාන දේශ සීමාවේ රැඳී සිටින සිරියානු සරණාගතයින් ජලය නොමැතිව මහත් දුෂ්කරතාවයකට පත් විය. කැනඩාවේ ඉතිහාසයේ සිදු වූ දරුණුම ව්‍යසනය ලෙස සටහන් වූ උතුරු ඇල්බර්ට් ප්‍රදේශයේ ඇති වූ ගින්නට 88,000ක් පමණ පිරිසක් හසුවිය.


මේ ආකාරයට ලෝකය පුරා සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම එන්න එන්නම දරුණු වේ. මේ ගැන අහසට හෝ පොළොවට සාප කර ඵලක් නැත. වරද අපේමය. මන්ද මෙම ස්වභාවික විපත් සිදු වීම සඳහා පාර කපන්නේද මිහි මත ජීවත්වන මිනිසාම වන බැවිනි. එක් ගසක් කපන් විට තවත් පැල දහයක් සිටුවන්න යැයි අපේ මුතුන් මිත්තන් කියූ  කියමන සම්මූර්ණයෙන්ම ඡේදනය කරමින් මේ වන විට නාගරික ප්‍රදේශවල පමණක් නොව නොව මහා රක්ෂිත වනාන්තරවල රූස්ස ගස් පවා හිත් පිත් නැති ලෙස බිම හෙළමින් ක්‍රියා කරන්නේද මිනිසාමය. ගං ඉවුරු කපා ගෙවල් ගොඩනැගිලි සාදන්නේ ද මිනිසාමය. ඉඳින් නියඟය උදා නොවේවිද? වැව් අමුණු ගංඟා ඇළ දොළ සිඳී නොයේද? වැහි වතුර එක් වී ගංදිය පිටාර ගලා නගර බිම් යටකරමින් නොයේද? සියල් චෝදනා අප වෙතමය. මේ ආකාරයට පරිසර විනාශය සිදු වුවගොත් ඊට සමගාමීව ඇති වන මනුෂ්‍යය ජීවිත සංහාරය දරුණු ඛේදවාචයක් වීම ලොව පාලක දෙවියන් වහන්සේටවත් වළකාලිය නොහැකි වන්නේය.


ඕනෑම රටක් ඒකීය වශයෙන් සංවර්ධනය විය යුතු නමුත් එම සංවර්ධනය කරා පිය මනින මාවතේදී පරිසර සංරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කළ යුතුමය. පරිසර විනාශයත් සමඟ සිදුකරන සංවර්ධනය කිසි විටෙකත් තිරසාර සංවර්ධනයක් විය නොහැකිය. මෙහිදී මෙම තිරසාර සංවර්ධනය යන්න ඉතා වැදගත් වේ. තිරසාර  හෙවත් ධරණීය සංවර්ධනය යනු මූලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. මේ අනුව තිරසාර සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එ්වා සංවර්ධනය කිරීම මෙන්ම අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහා ද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ. අනාගතය සඳහා සම්පත් සුරැකීමේදී යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය. නමුත් හැකි සෑම විටකම අවට පරිසරයේ ගහකොළ, සතා සිවුපාවා ආදිය ආරක්ෂා කර ගැන්මට අපි සැවොම නිතැතින්ම බැඳී සිටිය යුතු වන්නෙමු. මේ අනුව කාලීන පාරිසරික සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් අපේ රටේ දැනට ඉතිරිව තිබෙන ස්වභාවික සම්පත් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සියල්ලන්ගේ වගකීමක් වෙයි. ලොව විවිධ රටවල නායකයින් ජාත්‍යන්තර සමළු පවත්වමින් පරිසර සංරක්ෂණයෙහි වැදගත්කම පිලිබඳව විවධ ප්‍රඥප්තීන් අත්සන් කරනු ලබන්නේ දැනට සිදුවන පරිසර විනාශය එක දිගට සිදු වූ විට මිනිසුන්ට ජීවත් වීම පිලිබඳව ප්‍රශ්ණයක් ඇති වන නිසාය. කාර්මික හා තාක්ෂණික අංශයෙන් ඉහළම සංවර්ධන තලයක ඇති රටවල්වලට පවා දිනක හුස්ම ගැනීමට ඔක්සිජන් පවා නොමැති වන තත්වයත් ඇති වේ. ලංකාවේද මෙලෙස වනාන්තර විනාශ කිරීමෙන් හා පරිසර දූෂණ ක්‍රියා සිදු කිරීමෙන් නුදුරේදීම ඔක්සිජන් බෑගයක් ක‍ඩයෙන් මිලදී ගැනීමට සිදු වනු නියතය. එනිසා මෙම සිද්ධීන් දෙස සමස්ත මානවයාම සවිඥානිකව බැලිය යුතුය.


රට පාලනය කරන රජයකටද මේ පිළිබඳව ඇති වගකීම අනන්තය අප්‍රමාණය. එක් අතකින් ස්වභාවික විපත්වලින් වැසියන් මිය යාම මානුෂික වශයෙන් මෙන්ම රටක ජනගහනය අඩුවීම මගින්ද  එක් අතකින් ගැටළුවකි. එසේම රටක් ආර්ථික වශයෙන් කඩා වැටී අස්ථාවරභාවයට පත්වීමද මහත් අර්බුදයකි. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යම් පමණකින් පසුගාමී රටක් බව අප පිලිගත යුතුය. සියවස් ගනණක වාර්ගික යුද්ධයකින් ද, 2004 දෙසැම්බරයේ දී විනාශකාරී සුනාමියකින් ද පීඩා විඳි අප හට  මූලික යටිතල පහසුකම් පවා හිඟ ය. නමුත් අපදා කළමනාකරණය කෙරෙහි ඇති අවධානය අඩුකොට සැලකිය නොහැක. පීඩාකාරී කාලගුණික සංසිද්ධීන්හිදී සාමාන්‍ය ජනතාවට කල්තබා අනතුරු ඇඟවීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් රජය බැඳී සිටියි. මෙවන් අවස්ථාවකදී බෙදී වෙන් වී එකිනෙකාට චෝදනා කිරීම පසෙකලා සියල්ලන් එකට එක්ව නැගී සිටිය යුතු වන්නෙමු. ආපදා තත්ව පෙරදීම හඳුනාගෙන ඒවා කලමනාකරණයට අවශ්‍යය ඥාණය සහ මෙවලම් දියුණු කර ගනිමින් තාක්ෂණික වශයෙන් මීට වඩා බලවත් විය යුතුය. පවසන තරම් සැහැල්ලුවෙන් මේවා ක්‍රියාවට නැංවීම අපහසු බව සැබෑය. නමුත් අතීත හා වර්තමාන සිද්ධීන් ආදර්ශයට ගෙන අනාගතයට කල්යල් බලා සූදානම් වීම අවැසිය. සිදුව ඇති ආපදා උණුසුමත් සමග ප්‍රතිපත්ති සම්පාදනය පමණක් නොසෑහේ. ඒවා යථාර්ථයක් විය යුතුය. දිගු කාලීනව ක්‍රියාත්මක වීම අවශ්‍යය. ස්වභාවික බලවේග සම්පූර්ණයෙන් පාලනය කල නොහැකි වුව ද ඒවායේ සමාජීය හා ආර්ථික බලපෑම අවම කිරීමට නම් පෙර සූදානමකින් යුතුව ක්‍රියා කල යුතුය. පාරිසරය යනු අධ්‍යාත්මික විෂයකි. මිනිසාට මෙන්ම ජීවය රැඳී පවතින වස්තුවකි. එබැවින් හැකි සෑම අවස්ථාවකම පරිසර සංරක්ෂණය සඳහා දායක විය යුතුය. සිය දෑස් යුග මෙන් අප මිහි මව් ආරක්ෂා කරගත යුතුය.

වාහනයක් හොඳින් නඩත්තු කරන විට ආරක්ෂාකාරී ලෙස ගමන් බිමන් යා හැකියි. නමුත් වාහනය නිසි ලෙස නඩත්තු නොකරනවා නම් එයින් කරදර විපත් ආදී භයානක ප්‍රතිඵල ඇති වෙයි. මිහිතලයද එසේමය. මිනිසා  එය යම් සේ ආරක්ෂා කරයිද මිනිසාවද නිතැතින්ම ආරක්ෂා වේ. අප එය විනාශ කරන තාක් නොදැනුවත්වම අප ළඟා වන්නේ ද අපගේ විනාශය වෙතමය.

  *මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...